විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරතවිය.
දූෂණය නවතනු විදුලි බිල අඩු කරනු – විදුලි බිල අහසට මුළු රටම අඳුරට තේමාවෙන් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිල, මනෝ ගනේෂන්, නලීන් බණ්ඩාර, දිලීප් වෙදආරච්චි, මුජුබර් රහුමාන්, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩි වලින් තව දුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කීවේය.
උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වලට මේවා නොපෙනෙන බවත් එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.