අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන් නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (16) පැවසීය.
රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට මෙවැනි දේශපාලන ගේම් ගසන බවද ජාතික මහජන සභාව-කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුවට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව එහි සඳහන් බවත් විපක්ෂ නායකවරයා කීවේය.
මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී ඇතැයිද ප්‍රේමදාස මහතා පැවසීය.
රට ගොඩ නගනවා මුවාවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බවත් ආණ්ඩුව මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බැවින් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.