27 C
Colombo
28/11/2024

රූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම්

Share with your friends :

අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව රොෂාන් අලි ධානිශ් අලී සහ චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (28) නියෝග කළේය.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව ඉහත නම් සඳහන් අය සැකකරුවන් වශයෙන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

වරෙන්තුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රොෂාන් අලි ධානිශ් අලී නමැත්තා ලබන පළවෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළ අධිකරණය එම සැකකරුගේ හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් මාධ්‍යවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන පළවීම හේතුවෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම හදුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළේය.

Share with your friends :