27 C
Colombo
28/11/2024

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහය දෙනවා – ඉන්දීය විදේශ ලේකම්

Share with your friends :

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

මෙම දූත පිරිස පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමටය.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බවද ඔවුහු මෙහිදී වැඩිදුරටත් පැවසූහ.

අසීරු අවස්ථාවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සහාය වෙමින් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ සම්බන්ධයෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයට පිරිනමන බවත් ජනාධිපතිවරයා එම දූත පිරිසට පැවසූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡා කෙරිණ.

දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්වයට පත්වනු ඇතැයි දූත පිරිස මෙහිදී විශ්වාසය පළ කර සිටියහ.

ඉන්දීය ණය ආධාර යටතේ මේවන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මේ අවස්ථාවට ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

Share with your friends :