27 C
Colombo
27/11/2024

මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයි

Share with your friends :

මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන වෙළෙඳපොළේ මිලට ලබාදීමද අද ( 19) සිට අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

සමාජයේ වැරදි මතයක් ඊයේ රාත්‍රියේ ඉඳලා පළවෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරැන්ට මේ වැරදි මතය නිසා බරපතල අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. ඛණිජතෙල් සංස්ථාව මේ මොහොතේදීවත්, මීට පෙරදිවත් කිසිදු අවස්ථාවක කිසිදු මන්ත්‍රීවරයෙකුට වෙළෙඳපොළේ මිලට අඩු මිලකට කොහේවත් තෙල් මිලදී ගැනීම සඳහා ඉඩ සලසලා දීලා නෑ. ඒක මේ මොහොතේ දීලත් නෑ, මීට පෙර දීලත් නෑ, ඉදිරියේදී දෙන්නෙත් නෑ.

මේ පිළිබඳ අද සමාජයේ කථිකාවතක් ඇති වෙලා තිබෙන්නේ ඉන්ධන අර්බුදය ඇතිවීමත් සමග. ඔබතුමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා පසුගිය දවසේ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරැන්ට ඒ අවශ්‍ය ඉන්ධන පහසුකම් ලබා ගෑනීම සඳහා යම්කිසි ඉඩකඩක් ලබා දෙන්න පුලුවන්ද කියලා. පොලිස් ස්ථානයේ පවතින ඉන්ධන පිරවුම්හලෙන් සාමාන්‍යයෙන් අලෙවියක් සිදු කරන්නේ නෑ. ඒ අදාල මුදල් ගෙවලා තමයි ඉන්ධන ලබාදීම පොලීසිය සිදු කරන්නේ. ඔබතුමාගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා අපෙන් ඉල්ලීමක් කළාම මේ අදාල දින කිහිපය පමණක් අත්පිට මුදලට ලබා දෙන්න කටයුතු කරන්න කියන එක ඛණිජතෙල් සංස්ථාව පැහැදිලිවම ඔවුන්ට ලිඛිතව අවසර ලබා දී තිබුණා . වෙළෙදපොළේ තිබෙන සිල්ලර මිලට පවතින කොන්දේසි යටතේ අත්පිට මුදලට ලබා දෙන්න කියලා. නමුත් බරපතල වැරුද්දක් කරලා තිබෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ගරාජයෙන්. මේ තිබෙන ඩිස්පෙන්සර් එක යාවත්කාලීන කරලා නෑ. අවුරැදු තුන හතරක් යනකන්. මේ 121 සඳහන් වෙලා තිබෙන්නේ අවුරැදු කිහිපයකට පෙර තිබුණු අගයක්. ඒ අනුව වහාම අත්පිට මුදලට වෙළඳපොළේ මිලට ලබා දෙන එකත් අද උදේ සිට නතර කරන්න ඔවුන්ට දැනුවත් කරලා තිබෙනවා. මේක යාවත්කාලීන නොකිරීම පිළිබඳ අපි පරීක්ෂණයක් පවත්වන්න කියලා තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ –

කතානායකවරයාගේ අවධානායට කොළ දෙකක් එවනවා. මන්ත්‍රීවරැන්ට රැපියල් 121ට ඩීසල් දෙනවා කියන එක පජාත වැඩක්. මගේ බල්ලෙක්වත් එතනින් ඩීසල් අරගෙනත් නෑ. ගන්නෙත් නෑ. ඒ නිසා අපිට මේ පොලිස් ගැරේජ් වලින් තෙල් ගහන්න ඕනී නෑ. මේක මහ පාහර, තුච්ච වැඩක්. මන්ත්‍රීවරැන්ට එහෙම දෙන්න එපා. අපිට ඕනි නෑ. කරැණාකරලා ඒක නවත්වන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා:

ඔබතුමා යටතේ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ විදියට ඝාතනය කළා. ඒ ඝාතනයට වග කියන්න ඕනී මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ක් වන බූරු රැල. මේ පාර්ලිමේන්තුවේ වෛරය වැපිරැවා පසුගිය මාස දෙක තුනේම. මේ තෙල් පිළිබඳ ප්‍රශ්නය කතානායකතුමාගෙන් මාස ගානකට කලින් අපි ඉල්ලුවා. අපි මාතර එහා කෙලවරේ ඉදලා එන්නේ. කොළඹ එනකොට පැය ගාණක් පෝලිමේ ඉදලා තෙල් ගහගෙන එන්න වෙන්නේ. කොළඹින් නැවත යනකොට තෙල් ගහන්න තැනක් නෑ. තෙල් පෝලිමක් ළගින් තෙල් ගහන්න විතරක් නෙවෙයි මේ 225න් එකෙක්ට නිකන්වත් යන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මැරැම් කන්න වෙනවා. ඒක නිසා මේ ජනප්‍රිය දේවල් කරන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් –

දැන් මෙතන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කිව්වා අපිට 121ට තෙල් හම්බ වුණා කියලා. මේ පාර්ලිමේන්තුවේ 224කට ඒ ගානට ලැබුණේ නෑ. එතුමට ලැබෙන්න ඇති. ඒ නිසා එතුමා ගත්ත වරප්‍රසාදය අපිට කියන්න එපා. අපි මහජනයාට දෙන මුදලටම තමයි තෙල් ගහ ගන්නේ. ඒ නිසා කරැණාකරලා වැරදි පුවත් මවන්න එපා.

බුද්ධික පතිරණ –

මම කිව්වේ නෑ කොහේවත් රැපියල් 121ට මන්ත්‍රීවරැ ඉන්ධන ගත්තා කියලා. මෙච්චරකල් මන්ත්‍රීවරැ තෙල් ගහ ගත්තා සාමාන්‍ය විදියට. පොලීසියට කියලා වෙනම තැන් හදලා පොලිම් නැතිව කරන මේ සෙල්ලම හොඳ නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග –

කතානායකතුමාගෙන් ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ මන්ත්‍රීවරැ ඉල්ලීමක් කළා මේ සතියේ පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරැන්ට ඉන්ධන ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව ඔබතුමා මේ සතියට විතරක් පොලීසියේ ගරාජ් එකෙන් ඒක ලබා දෙන්න අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා. මෙතුමා මේ කථාව කෙසේ කිව්වත් 09 වැනිදා මේ රටේ භීෂණයක් ඇති වුණා. සිය ගණන් ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරැන් මැරැණා. පාරට බහින්න බැරි තත්ත්වයක් තිබියදී මන්ත්‍රීවරයෙකු පෝලිමක ඉදලා මේ වගේ සිද්ධියක් ඇති වුණොත් කවුද ඒකට වග කියන්නේ? ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කළේ මන්ත්‍රීවරැන්ගේ ආරක්ෂාව සඳහා මේ කටයුත්ත කරන්න කියලා. මේ වගේ වෛරය වැපිරැවොත් මන්ත්‍රීවරයෙකුට පාරට බහින්න බැරිවෙනවා.

Share with your friends :