ඒකාධිපතිවාදය පැතිරවීමට ගත් උත්සාහය නිසා අද රටම ගිනිගොඩක් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
ඒ හරහා පාර්ලිමේන්තුවේ 225 දෙනාම අනතුරකට හෙළා ඇති බවද ඇය චෝදනා කරයි.
තලතා අතුකෝරල මහත්මිය මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
“කාටත් එක හැන්දෙන් තමයි බෙදුවේ. හැබැයි මේ තත්ත්වය ඇති කරන්න වගකිවයුතු අය කවුද කියන එක හොයන්න ඕනේ.”
“කාටවත් කරදරයක් නැතුව කරපු අරගලයකට පහර දෙන්න ගිහින් තමයි මේ සිද්ධිය සම්පූර්ණයෙන් වුණේ.”
“කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතු කරුණ ඒක තමයි.”
“මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් ලියලා. පසුගිය 12 වනදා ලියලා තියෙන්නේ.”
“මේ සිද්ධිය සිද්ධ වුණේ පොලීසිය ගිහින් උද්ඝෝෂණ නවත්වන්න නියෝග ඉල්ලනකොට ඒවා කණිෂ්ඨ විනිශ්චයකාරවරු විසින් ප්‍රතික්ෂේප කරපු නිසා කියලා. කවුද මේ පුද්ගලයා. එතුමා යන්න ඕනේ නීතිපතිතුමා යටතේ.”
“දැන් අධිකරණය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේකත් විනාශ කරන්න හදනවා ද?”
“මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා. ඒකාධිපතිවාදය පතුරවන්න ගිහින් රටම ගිනිගොඩක් කරලා. දැන් ඊට වැඩිය හපන්නේ.. අපි 225ම පුදුම අනතුරක දාලා.”
“අනික පොලිස්පතිවරයාට ඉල්ලීමක් කරලා 225ට තෙල් දෙන්න කියලා. රටේ මිනිස්සු කිලෝමීටර් ගණන් පෝලිම්වල ඉන්නවා. ඇයි 225ට විතරක් තෙල් දෙන්න කියන්නේ.”
“මේ වෙච්ච දෙයින් දියවන්නාවටම ඇවිත් අපි ඔක්කොමව ගිල්වලා දායි.”