27 C
Colombo
25/11/2024

රඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට

Share with your friends :

රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥා අජිත් රෝහණ මහතා අද (28) රාත්‍රී පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා කොළඹදී ද, සෙසු පොලිස් කොස්තාපල්වරුන් මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී ද, අත්අඩංගුවට ගත් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා අදාල සිද්ධියේ අණ දෙනා ලෙස කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥා අජිත් රෝහණ මහතා වැඩි දුරටත් කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්තඅඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවත් දැනගන්නට තිබේ.

ඉන්ධන නොමැතිවීමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසීන් පැවැත්වු විරෝධතාවක් අතර තුර වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයාමට අදාලව පසුදිනම කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි බම්බලපිටිය ක්ෂෙත්‍ර බලකා මුලස්ථානයට ස්ථාමරුවීම් කළේය.

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම්දුන්නේය.

රඹුක්කන දී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා අණ දුන් පොලිස් නිලධාරින් හා වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කළ නියෝගය අද පොලිස්පතිවරයාට ලැබීමෙන් පසු එම නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි පොලිසිය දැනුම් දී ඇත.

Share with your friends :