උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය.
ගම්පහ, කිරිල්ලවල ආලක මන්දාව උත්සව ශාලාවෙහි පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව සඳහන් කළ අතර මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
“පසුගිය කාලය තුළ බඩුමිල වැඩි වීම සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් ගණනය කිරීමේදී තේරුම් ගියා අපගේ අලෙවි මිල සියයට හතලිහකින් වැඩිවී ඇති බව. නමුත් අපි මෙය දරාගනිමින් පසුගිය මාස ගණනාවක් තිස්සේ ඉදිරියට ආව.
එහෙත් සෑම දෙයකම මිල ගණන් ඉහළ යාමේ තත්ත්වය අනුව පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යමින් අපට මෙම ක්ෂේත්රයේ රැදී සිටීමට හැකියාවක් නොමැති බැවින් අලුතින් ලබාගන්නා ඇනවුම් සදහා අවම වශයෙන් සියයට හතලිහකින් මිල වැඩි කිරීමට තීරණයක් ගනු ලැබුවා.