27 C
Colombo
25/11/2024

මූල්‍ය අරමුදලට යෑමට ජනපති ඇමරිකාවේ සහය ඉල්ලයි

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මියට අද (28) දැනුම් දුන්නේය.

මෙරට ආර්ථිකය බිඳ වැටීමට හේතුවූ කරුණු ජනාධිපතිවරයා ඇමරිකානු තානාපතිවරියට මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මාර්ගයෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපතිවරිය මෙහිදී ජනාධිපතිවරයාට පොරොන්දු වූවාය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී රජය දැක්වූ සහාය තානාපතිනියගේ ප්‍රසාදයට ලක්විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බවද පෙන්වා දුන්නාය.

කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලී (Martin Kelly) සහ දේශපාලන හා ආර්ථික උපදේශක සුසෑන් වෝක් (Susan Walke) යන මහත්ම මහත්මීහුද සහභාගිවූහ.

Share with your friends :