ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ප්රජාතන්ත්රවාදී රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන්නේ යැයි පැවසෙන යෝජනා ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන්නේය.
විශේෂ යෝජනා 53ක් ඇතුළත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඉදිරිපත් කර අනුමත කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.
ජනපතිවරයා සතු සියලූ විධායක බලතල පාර්ලිමේන්තුවට සහ අමාත්‍ය මණ්ඩලයට පැවරිය යුතු බවත් ඔවුන්ගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබිය යුතු බවත් රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ඒ මන්ත්‍රීවරුන් අතරින් සුදුස්සකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත යුතු වන අතර ඒ සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් විය යුතු බව එහි දැක්වේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතර සහාය ලබාගත හැකි මන්ත්‍රීවරයකු අභිනව ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත්කරනු ලැබිය යුතු බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් පනත් කෙටුම්පත යෝජනා කරයි.
එම අන්තර්කාලීන ආණ්ඩුව පවතින පාර්ලිමේන්තුවේ ධූරකාලය අවසන් වන දින හෝ ඊට පෙර විසුරුවනු ලැබුවහොත් එම දිනය දක්වා සහ අලුතින් මැතිවරණයක් පවත්වා කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්නා තෙක් ක්‍රියාත්මක විය යුතු බවද එහි සඳහන් වේ.
අන්තර්කාලීන ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය ප්‍රතිස්ථාපනය කරනු ලැබීම සඳහා සහ ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කර වර්ධනය කිරීම පිණිස දිගු කාලීන සහ කෙටි කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශයක් අනුමත කරගත යුතු බවත් ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡාවකට, ණය වගවීමට ඇති වගකීම් කල් දමා ගැනීමට සහ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීමට මූලික පහසුකම් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් විජයදාස රාජපක්ෂ මහතා යෝජනා කරයි.
රටට ආර්ථිකයට ප්‍රයෝජනවත් වන පරිදි දායක විය හැකි දක්ෂ සහ සුදුසුකම් ඇති තැනැත්තන් පමණක් රාජ්‍ය ආයතනවලට පත් කළ යුතු බවට යෝජනා කරන මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ පාලනය සඳහා මිල පාලනයක් ක්‍රියාත්මක කළ යුතු බවද යෝජනා කරයි.
වී එළවළු සහ අනෙකුත් වගාවන්ට පොහොර ප්‍රමාණවත් පරිදි සපයා දිය යුතු බවත් පසුගිය කාලයේදි අන් සතු කරන ලද ජාතික සම්පත් නැවතත් අත්පත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යෝජනා කරන්නේය.