27 C
Colombo
24/11/2024

මාස ගානක් තිස්සේ අයිඩෙන්ටි කාඩ් එකට කොලයක් – ලොකු පුටු හෙල්ලෙන ලකුණු

Share with your friends :

ජාතික හැඳුනුම්පත සඳහා දැනට මාස කීපයක් තිස්සේ කාඩ්පත් නොමැතිව කොලයක් පමණක් නිකුත් කිරීම නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. මීට හේතුවී ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් නිසි කලට ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලදී ගැනීම සිදු නොකිරීමය.
2019 වසරේ සහ 2020 වසරේ අවස්ථා දෙකකදීම මේ සඳහා ටෙන්ඩර් කැඳවු අවස්ථාවල ඒ සඳහා කිසිදු හේතුවක් නොදක්වමින් අදාළ ටෙන්ඩර් කටයුතු අවලංගු කිරීම මීට හේතුවී තිබේ.
අප වෙත දැන ගන්නට ඇති ආකාරයට ඉහල නිලධාරීන් කීපදෙනෙකුට තමන්ට අවශ්‍ය සමාගම් ඒ සඳහා සුදුසුකම් නොලැබීම මේ අවලංගු කිරීම්වලට හේතුවී තිබේ.
කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට නිකුත් නොකලද ඉහල පෙලේ පුද්ගලයන්හට නිකුත් කිරීම සඳහා කාඩ්පත් විසි අටදහසක තොගයක් දෙපාර්තමේන්තුව සතුව ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රටේ ප්‍රධානතම පුද්ගල අනන්‍යතා ලියවිල්ල වන ජාතික හැඳුනුම්පත සඳහා දෙපාර්තමේන්තුව විසින් මුල්ම හැඳුනුම්පත නිකුත් කරනු ලැබුවේ 1972.09.14 වැනිදාය.කළු සුදු ඡායාරූපය වෙනුවට වර්ණ ඡායාරූපයක් හැඳුනුම්පතට ඇලවීම ආරම්භ වූයේ 2005 වර්ෂයේ සිටය.2014.02.28 වන දින සිට සියලුම හැදුනුම්පත් තාක්ෂණික කුමවේදයෙන් සිංහල හා දෙමළ ද්වී භාෂාවෙන් මුද්‍රණය කර නිකුත් කිරීම ආරම්භ විය. පසුව දැනට වසර කීපයක සිට ජාතික විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීමද ආරම්භ විය. එසේ තිබියදී මේ සඳහා යලිත් වරක් කඩදාසි නිකුත් කරන්නට වීම රට කොතරම් ආපස්සට ගමන් කරන්නට වීමක් දැයි ජනතාව ප්‍රශ්න කරති.
මේ අතර එම දෙපාර්තමේන්තුවේ කාඩ්පත් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවයක් එළිදරව් වීම නිසා ළඟදීම එහි ඉහල නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු ලැබීමට ඉඩ ඇති බවටද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Share with your friends :