27 C
Colombo
28/11/2024

2021 අයවැයෙන් ක්ෂේත්‍ර රැසකට සහන

Share with your friends :

2021 අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2021 අය වැය යෝජනා මෙසේය.
කාන්තාවන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දිර්ඝ කෙරේ.
බැංකු නීතී ප්‍රතිසංස්කරණය කෙරෙන අතර බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණයට ශක්තිමත් ව්‍යුහයක් ඇති කිරීමට නව නීතී ඇති කෙරේ.
මේ වනවිට ක්‍රියාත්මක වන කහ ආනයනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඉඟුරු ආනයනයද තහනම් කෙරේ.
වගා නොකර අතහැර දමා තිබෙන පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඊට අදාල සියලු බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවැරේ.
ඉදිරි වසර පහක් සඳහා කෘෂිකර්ම, සත්ව හා ධීවර ක්ෂේත්‍ර ආදායම් බදුවලින් නිදහස් කෙරේ.
ලබන ජනවාරි පළමු වැනිදා සිට වතු කම්කරු වැටුප රු.1000 දක්වා වැඩි කෙරේ.එම වැටුප ගෙවීමට නොහැකි සමාගම්වල ගිවිසුම් වෙනස්කිරීමට අදාළ නීති සංශෝධනය කෙරේ.
වාහන අලුත්වැඩියාවට සහ එකලස් කිරිමේදි අවශ්‍ය ⁣අමතර කොටස් ආනයනයට බදු සහන ලබාදෙනු ඇත.
සමස්ත රටම ආවරණය කරන පරිදි අන්තර්ජාල 4G තාක්ෂණය සහ ෆයිබර් තාක්ෂණය වැඩිදියුණු කෙරේ. තාක්ෂණික ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 800 කි. ගමට සන්නිවේදනය වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 15,000 කට අධික ආයෝජන කිරීමට රජය සැළසුම් කරයි.
ප්ලාස්ටික් හා පොලිතීන් පරිසරයට එකතු වීම අවම කිරීමේ අරමුණින් එක්වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන ලබන වසරේ සිට තහනම් කෙරේ.
රාජ්‍ය සේවකයින්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
රාජ්‍ය සේවකයින්ගේ පත්වීම් හා ස්ථානමාරු ලබා දීමේදි තම ගම් ප්‍රදේශ අදාළ දිස්ත්‍රික්කයන් තුළට යොමු කිරීමටද යෝජනා කරයි.
මාණ්ඩලික නොවන ශ්‍රේණිවල කාර්යාල රාජ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයින්ට වසර 2ක නිවාඩු ලබා දෙනු ඇත.
රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපල ණය සඳහා උපරිම පොලී අනුපාතය සියයට 7 දක්වා අඩු කිරීමට යෝජනා කරයි.
එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම‍ට යෝජනා කෙරේ.
කෘෂිකර්ම, ධීවර, කුඩා ව්‍යාපාර, ස්වයං රැකියා වැනි නිෂ්පාදන අංශවල හා සේවාවන්වල නියැලෙන්නන් මෙන්ම ඇඟලුම්, සංචාරක, වැවිලි, විදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයකට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බැවින් පොදු යහපත සඳහා වයස අවුරුදු 65 පසු විශ්‍රාම වැටුපකට හිමිකම ලබන දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.
.“සැමට ජලය” රජයේ තුන් අවුරුදු ඉලක්කය ඉටුකර ගැනීම සඳහා 2021 වර්ෂය තුළ 200,000කට ආසන්න නිවාස ප්‍රමාණයකට නලජල සැපයුම් ලබාදීමට සමගාමීව ප්‍රජා පානීය ජල ව්‍යාපෘති, ජලාශ හා ජල මුලාශ්‍ර දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ.
සෑම ගමක්ම ආවරණය වන පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමිටර 50,000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ.
දුෂ්කර ගම්මාන 12,000ක් අවට පරිසරය හා සම්බන්ධ කිරීම ඉලක්ක කර ගනිමින් කුඩා වාහන වලට ප්‍රවේශ විය හැකි ග්‍රාමිය පාලම් 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 7,000ක් වෙන් කෙරේ.
ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ව්‍යාප්ත කරනු ලබන ජාතික පාසැල් 1,000 වැඩසටහනට සමගාමීව අවට ඇති ග්‍රාමීය පාසැල්වල මූලික පහසුකම් වැඩි දිියුණු කිරීම හා අවශ්‍ය ගුරුවරු අනුයුක්ත කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 3,000 වෙන්කෙරේ.
ග්‍රාමීය රෝහල්, ඩිස්පෙන්සරි, මාතෘ සායන වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.
ග්‍රාමීය පාසැල් ක්‍රීඩාපිටි, ග්‍රාමීය ක්‍රීඩා සංවිධාන, පාසැල් සිසුන් ක්‍රීඩා වලට යොමු කිරීම, ප්‍රාදේශීය ක්‍රීඩා සංවර්ධනය, වොලිබෝල් ක්‍රීඩාව හා කාන්තා ක්‍රීඩා සහභාගීත්වය පුළුල් කිරීමට අදාළ සංවර්ධන කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ.
සමෟද්ධිලාභී පවුල් ලක්ෂ දෙකක් කේන්ද්‍ර කරගත් අංගසම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයන් හා ආශ්‍රිත ගම්මාන බලසම්පන්න කිරීම සඳහා රුපියල් මිලියන 10,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
සම්ප්‍රදායික කර්මාන්ත ආශ්‍රිත ගම්මානවලට සුවිශේෂිත වු භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කරමින් වෙළඳපළ ආකර්ශණය කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කෙරේ.
අලි මිනිස් ගැටුම් නිසා ඇතිවන ජීවිත හා දේපල හානි වලක්වා ගනිමින් ජනාවාස අරක්ෂා කර ගැනීම ඇතුළු ආරක්ෂන වැඩපිළිවෙළවල් ග්‍රාමිය ප්‍රජා දායකත්වයද ඇතිව බල ගැන්වීම සඳහා අලිවැට හා අගල් සකස් කිරීම, වනජීවි භූමිවල වැව් ගංගා හා ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් වෙන් කෙරේ.
ග්‍රාමීය පලාත්වල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සඳහා ණය සහතික කිරීමේ යෝජනා ක්‍රමයක් ඇති කෙරේ.
ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ප්‍රාදේශීය සභා වල මාර්ග නඩත්තු කිරීම, සතිපොළ හා පොදු ස්ථාන පවිත්‍රව තබා ගැනීම, අපද්‍රව්‍ය බැහැර කිරීම හා සනීපාරක්ෂක ප්‍රජා පහසුකම් පවත්වා ගැනීම ආදී කටයුතු සඳහා රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

Share with your friends :