27 C
Colombo
25/11/2024

ඩොලර් ගේන හැටි හර්ෂ කියයි

Share with your friends :

මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.

“ආර්ථිකයේ නිවැරදි දිශාව” මැයෙන් සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය. ආර්ථික ප්‍රතිපත්ති ඒ ඒ කාලයට ගැලපෙන අයුරින් නිර්මාණය විය යුතු බවත් සැමදා පවතින න්‍යායාත්මක අදහස් වලින් ඔබ්බට ගොස් නැවුම් අයුරින් රටට ගැලපෙන ලෙස ඒවා සකස්කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. “ලෝකය වෙනස් වෙනවා. අපි අනුගමනය කළ යුත්තේ අපේ සියළු ජනතාවට සෙත සැලසෙන ලෝකය සමග ගමන් කරන ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ නිසයි, සමගි ජන බලවේගය සියලු පුරවැසියන්ට ආමන්ත්‍රණය කළ හැකි සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මගින් මේ රට ගොඩනැගීමට සැලසුම් කර තිබෙන්නේ.

මෙහිදී, ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය ප්‍රමුඛ වෙනවා. මෙහිදී, අපි වෙළෙඳපොළ විශ්වාස කරනවා. මිල කාටවත් තීරණය කරන්න ඉඩ දෙන්නෙ නෑ. අපි වෙළෙඳපොළට හිතැති සුදුසු ප්‍රතිපත්ති නිර්මාණය කරනවා. මේ අතර, අවශ්‍ය වූ විටෙක නියාමන කටයුතු කිරීමට අපි කටයුතු කරනවා. අපේ සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය රටට ගැලපෙන එකක්.”

ශ්‍රී ලංකාව මේ වනවිට නිෂ්පාදනයට වඩා පරිභෝජනය කරන රටක් බවට පත්ව තිබෙන බවත් මෙම ආර්ථික ප්‍රතිපත්තිය මගින් එම ක්‍රමය වෙනස් කර ඩොලර් සංචිත කන්දක් නිර්මාණය කළ හැකි ලෙස නිෂ්පාදනය නගා සිටුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය. ලෝකය සමග එකතුවී ආර්ථික කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට නොමැති තාක්ෂණික දැනුම ලංකාවට ගෙන්වා ගනිමින් දිගුකාලීනව සරල භාණ්ඩ නිෂ්පාදනයේ සිට සංකීර්ණ තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ රටක් බවට ලංකාව පරිවර්තනය කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.

ලෝකයෙන් හුදකලා වී සිටින ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරමින් තරුණ තරුණියන්ට ගමේ සිටම ඩොලර් ඉපයීමේ මාර්ග දියුණු කරන බවත් සෑම සේවකයෙකුටම අභිමානයකින් යුතුව රටේ ආර්ථික උන්නතියට උරදිය හැකි ව්‍යවසායක පරිසරයක් මෙම දැක්ම යටතේ නිර්මාණය කරන බවත් මන්ත්‍රීවරයා කීය.

Share with your friends :