27 C
Colombo
27/11/2024

නිරෝධායන මධ්‍යස්ථානයකට දුන් විද්‍යාපීඨය විනාශයි

Share with your friends :

කොරෝනා මර්දන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස හා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පරිහරණය කළ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නේවාසිකාගාර හා එහි ගුරු සිසු සිසුවියන්ගේ ඇදුම් පැළදුම් ඇතුළු බඩු බාහිරාදිය සොරකම් කර ඇතැයි ගුරු සිසුහු පෙන්වා දෙති.

ඔවුන් මේ බව අනාවරණය කළේ විද්‍යාපීඨ පාළනාධිකාරිය මගින් මේ දිනවල තමන්ගේ බඩු බාහිරාදිය පරික්ෂා කර බලා සුදුසු තත්ත්වයේ තිබේ නම් ‍රැගෙන යෑමට අවසර දීම නිසා නේවාසිකාගාරවලට පැමිණි ගුරු සිසුන් පිරිසකි.

කොරෝනා ව්‍යාප්තියත් සමග එය පාළනය කිරීමටත් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමටත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා අතරමෑදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිහරණය කෙරුණි.

කොරෝනා මර්දන කාර්ය සාධන කමි‍ටුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය දිවයිනේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස හා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් සියලුම විද්‍යාපීඨ වසා දමා එහි අධ්‍යාපනය ලැබූ ගුරු සිසුන් නිවෙස්වලට පිටත් කර හැරියේ ය.

ඉතාමත් පිරිසිදුව හා ක්‍රමානුකූලව පරිහරණය කළ නේවාසිකාගාරවලට ද විශාල වශයෙන් හානි කර ඇතැයි ගුරු සිසුහු කියති.

කොරෝනා පළමුවන ‍රැල්ල මතු වූ අවස්ථාවේත් දෙවන හා තුන්වන ‍රැල්ල අවස්ථාවේදීත් බන්ධනාගාර පොකුර පෑලියගොඩ පොකුර ඇතුළු කොරෝනා පොකුරු පිටින් පුලතිසිපුර විද්‍යාපීඨයට නිරෝධායනය හා ප්‍රතිකාරය සඳහා ගෙන එනු ලැබීය.

කෙසේ වෙතත් මෙම විනාශයන් පිළිබඳව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පාළනාධිකාරියෙන් කළ විමසීමක දී එහි ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වන විට සිදු වූ නේවාසිකාගාර ඇතුළු පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සිදුව ඇති හානිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කොරෝනා මර්දන කාර්ය සාධන බලකායටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් යොමු කර ඇති බවයි.

ගුරු සිසුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් මේ විනාශයට වගකිව යුතු බවයි.පෞද්ගලිකව පුහුණු ගුරුවන් හට සිදු වූ අලාභය වහාම ගෙවන ලෙස ද ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසත් කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් මෙහි පාළන කටයුතු යුධ හමුදාව හා පොලොන්නරුව මහ රෝහල විසින් සිදු කළහ.

Share with your friends :