27 C
Colombo
23/10/2024

කරන්නාගොඩගේ පෙත්සමට එරෙහි කරුණු දක්වන්න අතුරුදන් ⁣තරුණයින්ගේ මව්පියන්ට අවසර

Share with your friends :

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සමට එරෙහිව මැදිහත්ව කරුණු දැක්වීමට එම අතුරුදහන් වූ තරුණයින්ගේ දෙමව්පියන්ට අභියාචනාධිකරණය අද ( 08) වැනිදා අවසර ලබා දුන්නේය.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතරමැදි පාර්ශව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කල කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණය විසින් මේ අවසරය ලබා දෙන ලදි.

පෙත්සම් සම්බන්ධ විරෝධතා ජනවාරි මස 10 හෝ ඊට පෙර ගොනු කරණ ලෙස නියම කෙරිණ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි .

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු වසරේ දී 2008 පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන එම නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් වසරේ ජුනි 25 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.

එවකට සිටි අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදි.

එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටියේය.

අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

පෙත්සම ජනවාරි මස 31 වැනිදා නැවත කැඳවීමට තීරණය විය.

Share with your friends :