මහත්තයා නිතරම අපිට කතා කරනවා. කිසිවිටෙක කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ගැන කිව්වේ නැහැ. ප්‍රවෘත්තිවලට කිව්වාම තමයි අහස පොළොව නුහුළන මේ අපරාධය අහන්න ලැබුනේ. ලංකාවේ ජනාධිපතිතුමන්ගෙනුත් පකිස්ථානේ ජනාධිපති අගමැති තුමන්ලාගෙනුත් මම ඉල්ලන්නේ දරුවන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි පකිස්ථානයේදී අන්තවාදීන් පිරිසක් පහරදී මරා පුලුස්සා දැමූ ශ්‍රී ලාංකික ඉංජිනේරු දියවඩනගේ දොන් ප්‍රියන්ත කුමාර (49) මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය පැවසුවාය.
ආගමික උන්මාදයකින් පෙළෙන නරුම පිරිසකගේ ක්‍රියාවලියක් හේතුවෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරුවාගේ දිවි අහිමිවීමේ සිද්ධිය සැලවීමත් සමග ගම්පහ ගනේමුල්ල පෙදෙසම දැඩි ශෝකයට පත්ව ඇත. තැන තැන ලෙල දෙන ශ්වේත වර්ණ ධජ පතාකයන් කියා පාන්නේ ඔවුනගේ ශොකාලාපයයයි.
ගනේමුල්ල කැන්දලියැද්දපාලුවේ විසූ ජයවර්ධන දියවඩන මහතා සහ ඩී.ඇම් කිරිඇල්ල මහත්මියගේ පුතුන් තිදෙනකු හා දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සාවූ ප්‍රියන්ත කුමාර දියවඩන මෙලොව එළිය දුටුයේ 1972 වසර අවසන් වෙන්නට ඔන්න මෙන්න තිබියදී දෙසැම්බර් මස 30 වැනිදාය.
ගලහිටියාව විදුහලෙන් නවවැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දක්ෂ සිසුවකුවූ ප්‍රියන්ත අපොස සාමාන්‍ය පෙල හදාරන්නට මාතර රාහුල විදුහලට ඇතුලත්වූයේය. ඒ සිය අක්කන්ඩියගේ නිවසේ සිට අධ්‍යාපනය හදාරන අදහසිනි. පියාගේ හදිසි අභාවයත් සමග ඔහුට මෙවැනි පියවරක් ගන්නට සිදුව තිබිනි. එහිදී සාමාන්‍ය පෙල විභාගය උසස් ලෙස සමත්වූ ප්‍රියන්ත උසස් පෙල හැදෑරීම පිනිස ඇතුලත් වූයේ කැලනිය ධර්මාලෝක විදුහලටය.
අනතුරුව ඔහු පේරාදෙනිය සරසවි පියසට ඇතුලත්වූයේ උසස් පෙළ ඉහලින් සමත්වීමේ සතුට ඇතිවය. එහි ඉගෙනුම අවසන් කළ ඔහු 1999 දී ඉංජිනේරු උපාධිධරයකු ලෙස සරසවියෙන් බැස දිවයිනේ නමගිය ආයතන කීපයකම රැකියාව කරනු ලැබුයේ කාගේත් සිත් දිනා ගනිමිනි.
2011 වසරේදී ප්‍රියන්ත තරුණයා පකිස්තානයේ පයිසල්බාද්හි ඇගලුම් ආයතනයක කාර්මික ඉංජිනේරවෙරයකු ලෙස විදේශ රැකියාවක වරම් හිමි කර ගනු ලැබීය. එහි වසරක් සේවය කරද්දී ලැබුනු ඉල්ලීමක් මත 2012 දී රාජ් කේ ඉන්ඩස්ටීස් ආයතනයට එකතු වූයේ එහි සාමාන්‍යාධිකාරිවරයා ලෙසය. එහි සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා ලෙසද ඔහු හැදින්වුනු බවට තොරතුරු ලැබිනි.
රාගම පදිංචිකාරියකවූ නිලූෂි දිසානායක යුවතිය හා විවාහ දිවියට පත් ප්‍රියන්ත දෙදරු පියෙක්වූයේය. 14 හැවිරිදි වැඩිමහල් පුතු ගවින් ජෙනුක ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබන අතර වයස අවුරුදු නවයක් වන බාල පුතු මිතුල නෙසර ගනේමුල්ල වැලිපිල්ලෑව කණිටු විදුහලේ ඉගෙනුම ලබයි.
විදේශ රැකියාවක නිරතව සිටියද ප්‍රියන්ත වරින් වර මාස හයක් අවුරුද්දක් ඇතුලත ගම් බිම් බලා පැමිනියේ ආදරණිය මව බිරිය මෙන්ම දරු දෙන්නා බලන අදහසිනි. එහෙත් 2019 වසරෙන් පසු ප්‍රියන්තට මව්බිමට එන වරම් අහිමිවී ගියේ කොරෝනා වසංගතය නිසාය. ලගදීම මම ලංකාවට එනවා ඔහු නිතර බිරියටත් දරුවන්ටත් පැවසුයේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඒ වරම අහිමිව ගියේ ආගම මුල්කරගත් පිරිසකගේ ප්‍රචන්ඩකාරි හැසිරීම නිසාය.
මව්බිමට දෙපයින් එන්නට තිබූ සියලු බලාපොරොත්තු අහිමිව ඔහු අද හෝ හෙට ලක්බිමට එන්නේ පෙට්ටියකට සීමාවූ සිරුරු කොටස් කිහිපයක් ලෙස පමනි. එය බිරියටත් දරුවන්ට මෙන්ම ඥාති හිතවතුන්ට හා ආදරණීය මවටද දරාගන්නට හැකියාවක් නැති බව නම් පැහැදිලිය.
එහෙත් ආදරණීය මව තම පවුලේ බඩ පිස්සා මෙවනු රුදුරු ඉරණමකට ගොදුරුව ඇති බව තවමත් දන්නේ නැත. ඇය ඒ බව දැනගත් පසු කුමන තත්ත්වයක් උදාවනු ඇතිදැයි දන්නේ නොපෙනෙන දෙවියන් පමණී.
නිලුෂි මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ මෙම සිද්ධියත් සමග තමන් දැඩි ලෙස අසරණව සිටින බවයි. එමෙන්ම දැන ගන්නට ඇති පරිදි පුලුස්සා දමා ඇති බව කියන තම සැමියාගේ ඉතිරිව ඇති ඇට කටු ටිකවත් තමන්ට ලැබෙන්නේ නම් ආදර සැමියාට අවසන් ගෞරව දක්වන්නට අවස්ථාව සැලසෙන බවයි. ඒ සදහා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වෙනු ඇතැයි ඇය බලාපොරොත්තු පළ කළාය.