27 C
Colombo
26/10/2024

පාස්කු කොමිසමෙන් වගඋත්තරකරුවෙකු කළ නිලන්ත පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වෙයි

Share with your friends :

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජීත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා විභාගකිරීම් අද (23) ආරම්භ කෙරුණි.

එහිදි ජනාධිපති කොමිසම විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ලෙස නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදීම විශේෂත්වයකි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස වගකීම් පැහැර හරිමින් පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ පුද්ගලයින් 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව අධි චෝදනා 855 බැගින් එල්ල කරමින් කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව එම නඩු ගොනුකර තිබේ.

අදාළ නඩු සම්බන්ධයෙන් විත්තිකරුවන්ට අධිචෝදනා පත‍්‍ර කියවාදිම ඊයේ (22) සිදුකෙරුණු අතර අද දින නඩු විභාගය ආරම්භ කළේය.

එහිදි පළමුව හිටපු පොලිස්පති පූජීත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව විභාගයට ගැණුනු අතර පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

ඔහු කියා සිටියේ මාවනැල්ල බුදුපිළිමවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය කඩාකප්පල්කාරි ක්‍රියාවක් වශයෙන් ඇතැම් පුද්ගලයින් පෙන්වීමට උත්සාහ කළත් එය සහරාන්ගේ අනුදැනුම සහිතව ක්‍රියාත්මක වූ අන්තවාදී ක්‍රියාවක් බව තමන් එවකට සිටි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා දැනුවත් කළ බවය.

එසේම ඉස්ලාමීය අන්තවාදී මතවාදයන් පතුරුවන සහරාන් හෂීම් සමාජය තුළ නිදහසේ සිටීම දැඩි අනතුරුදායක කරුණක් බව තමන් 2018 වර්ෂයේ මැයි මාසයේදිම බලධාරින් දැනුවත් කළ බවත් පොලිස් කණ්ඩායමක් යොදවා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම්දුන් බවත් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේය.

2016 වසරේ සිට අයි.එස්. මතවාදය පතුරුවන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් වාර්තා 340කට වැඩි ප්‍රමාණයක් තමා විසින් එවකට ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත යොමු කළ බවත්, 2017 වසරේදී මෙරට අයි.එස්. මතවාදය පතුරුවන පුද්ගලයින් 94 දෙනෙකු තමන් විසින් හඳුනාගෙන ඔවුන් පිළිබඳව සොයාබලන ලෙස ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවත් සාක්ෂිකරු පැවසීය.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය හෙට දිනය තෙක් කල් තැබුණි.

අනතුරුව එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුව විභාගයට ගැනුණි.

එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව අධ්‍යයනයට විත්තියේ නීතිඥයින් කාලය ඉල්ලා සිටි බැවින් එම නඩුවද හෙට දිනය දක්වා කල්තැබුණි.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇති නීති කෘත්‍යය අද දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

එම අවස්ථාව සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විතිතිකරුවන් 25 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේය.

එහිදී එම නඩුව එළඹෙන වසරේ ජනවාරි මස 12 වනදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු
මඩුල්ල නියෝග කළේය.

Share with your friends :