27 C
Colombo
01/11/2024

යුදගනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව මහජනසභාව රටපුරා

Share with your friends :

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ “මහජන සභාව “රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඉකුත් සතියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ,මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මීට සති දෙකකට පමණ ඉහතදී මහජන සභාව නමින් රැස්වීමක් පිටකෝට්ටේ පිහිටි සෝලිස් ශාලාවේදී පැවැත් වූ අතර, එය රටපුරා පැවැත්විය යුතුය යන්න පක්ෂ නායකයන්ගේ අදහස බව එම පක්ෂ නායකයෙක් සඳහන් කළේය .

මේ අතර, යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ඉල්ලා හවුල්කාර පක්ෂවල නායකයන් මුදල් අමාත්‍යංශයට අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත .

එම ගිවිසුමේ පිටපතක් ඉල්ලා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයෙන් ඉකුත්දා ඉල්ලීමක් කළ අතර, මුදල් අමාත්‍යංශය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය .
මේ අතර රජයේ ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ මේ විරෝධතා පසුපස චීනය සිටින බවයි.

Share with your friends :