27 C
Colombo
23/09/2024

අලිසබ්රිගේ ඉල්ලා අස්වීම බාර දෙයි – ජනපති පිළිනොගනී

Share with your friends :

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දෙමින් ඊට අදාළ අස්වීමේ ලිපි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදී ඇත .

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අලි සබ්රි මහතාගේ එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන නැතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා හමුවුණු අලි සබ්රි මහතා නීති සකස් කිරීමට රටේ නිශ්චිත ක්‍රමවේදයක් පවතිද්දී මෙවැනි කාර්යසාධක බලකා මාර්ගයෙන් නීති සකස් කිරීමට යෑම අනවශ්‍ය ගැටළු මතු වන්නක් බව පෙන්වා දී ඇත.

එම පත් කිරීම සම්බන්ධයෙන් තමාගේ පැහැදීමක් නැතැයිද අධිකරණ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය තමා පත්කළේ තමාට එම කාරණයට අදාළව උපදෙස් ගැනීමට විනා අන් දෙයකට නොවන බවයි. එසේම නීති සකස් කිරීමේ කටයුතුවලදී අනිවාර්යෙන්ම අධිකරණ ඇමැතිවරයාගේ දායකත්වය ලබා ගන්නා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇත.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගේ කාර්ය සාධනය ජනාධිපතිවරයා මෙහිදී ඉහළින්ම අගය කර ඇතැයිද වාර්තා වෙයි.

ඉහත පත් කිරීම සම්බන්ධයෙන් සමහරුන් තුළ පවතින්නේ වැරදි අවබෝධයක් බවද වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට ඇත

Share with your friends :