27 C
Colombo
25/11/2024

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇමතිවරුන්වත් මායිම් කර නැහැ – රජය ඇතුලෙත් දැඩි අප්‍රසාදයක්

Share with your friends :

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොසලකා අත්තනෝමතිකව කටයුතු කිරීම එම දෙදෙනා අතර ගැටුමට මුල්වී ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ ආකාරයටම හිටපු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමගද කටයුතු කර ඇතත් ඇය මොහු සමග ගැටුමකට නොයාමට ප්‍රවේශම් වුවාය. එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මොහු සම්බන්ධයෙන් ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉහල ධුරයකට මිතුරෙකු පත් කිරීමට ගත් උත්සාහයක්ද ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබු අතර ඇමතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව එහිදී ක්‍රියාකර තිබිණි. මේ අතර ඉදිරි දිනයක් දමමින් සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කටයුතු කර ඇත්තේ ඒ හරහා රජයේ ඉහළ බලධරීන්ට බලපෑම් කිරීමේ අරමුණින් බවද සඳහන්වේ.
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වියත් මගෙහි ප්‍රබලයකු වීම නිසා ඔහු පසුගිය කාලය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවකුත් මායිම් නොකරමින් කටයුතු කල බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
කෙසේ වෙතත් සාමාන්‍ය නිලධාරියකු විද්වත් සංවිධානයක කටයුතු කල පමණින් මෙසේ හිතුවක්කාරී හා අත්තනෝමතිකව කටයුතු කිරීම රජයේ ප්‍රබල ඇමතිවරුන් අතරද දැඩි අප්‍රසාදයට ලක්ව ඇති අතර මෙය රජය තුල ගැටලුකාරී තත්වයක් දක්වා වර්ධනයවීමට පවා ඉඩ ඇති බව සඳහන්ය.
මේ අතර එම සංස්ථාවේ සිදුව ඇති බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය ඇමතිවරයාට ලැබී ඇති බලතල ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ඇමතිවරයකුට පවරාදීමද මෙම ගැටුම් වලට ඍජු ලෙසම බලපා තිබේ.
ජනාධිපතිවරයා ගේ නම විකුණමින් කටයුතු කරන ඇතැම් නිලධාරීන් නිසා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයටද දැඩි ලෙස හානි පැමිණෙන බව මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් අතර ඇතිවූ කතාබහේදී සාකච්ඡාවී තිබේ.

Share with your friends :