මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කර ඇත. ඒ, නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ඉවත් කර ගන්නා බව අධිකරණයට දැනුම්දීම හේතුවෙනි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු ට අයත් රුපියල් 36,509,124 ක මුදලක් වැයකොට ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේදී මෙම නඩුව ගොනුකර තිබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම චෝදනා මත මීට පෙර ගොනුකර තිබූ නඩුවකින් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කළ බවයි. එම නඩුවේ හා මෙම නඩුවේ කරුණු එකිනෙකට සමාන බැවින් නඩුව තවදුරටත් යාමේ හැකියාවක් නොමැති බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් නීතිපතිවරයා වෙත කරුණු දක්වා ඇති බවද අසාද් නවාවි මහතා සඳහන් කර ඇත.
කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු අධිචෝදනා පත්‍ර තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගත් අධිකරණය විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ඔවුන් නිදහස් කිරීමට තීන්දු කළේය.