27 C
Colombo
19/11/2024

ආයෝජන මණ්ඩලට නව නිලධාරීන් 29-මාසික දීමනා මිලියන 20-සේවක විරෝධය

Share with your friends :

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වර්තමාන පාලන අධිකාරිය එහි මූල්‍ය ශක්තිය විනාශකරමින් ආයතනය දියකර හරිමින් සිටීම නිසා එය රැකගැනීමට ආයෝජන මණ්ඩලයේ කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත් වන ලෙස රජයට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළුව වෘත්තීය සමිති හයක් ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

අධික වැටුප් පොරොන්දු වෙමින් සිදුකරගෙන යන අනවශ්‍ය බඳවාගැනීම් නතර කරදෙන ලෙසත් මෙතෙක් බඳවාගත් අය සේවයෙන් ඉවත් කරන ලෙසත්, අධික පිරිවැය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති කාර්යාල නවීකරණ කටයුතු හා බාහිර ආයතනවල සේවය ලබාගැනීම නතරකර දෙන ලෙසත්, ආයෝජන මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් පෞද්ගලිකව මැදිහත් වී ඉහළ කළමනාකරණයට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම ලබාදෙන ලෙසත් වෘත්තීය සමිති එම ලිපියෙන් ඉල්ලා තිබේ.

නව ප්‍රතිසංස්කරණ මුවාවෙන් ආයතනයේ මූල්‍ය තත්වයට ඔරොත්තු නොදෙන ආකාරයෙන් කැබිනට් මණ්ඩලයට ද සාවද්‍ය තොරතුරු සපයමින් මාසිකව අධික වැටුපක් ගෙවීමේ පදනම මත නිලධාරීන් 29 දෙනකු කොන්ත්‍රාත් පදනමින් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම නව බඳවාගැනීම් සඳහා දළ වශයෙන් මාසිකව රුපියල් මිලියන 20 ක අමතර පිරිවැයක් ආයෝජන මණ්ඩලයට දැරීමට සිදුවන බවත් එම ලිපියේ සඳහන් වේ.

එම නව නිලධාරීන් සඳහා ප්‍රධාන කාර්යාලයේ 27 වැනි මහලේ කොටසක් ද 24 වැනි මහළ සම්පූර්ණයෙන් නවීරණය කිරීමට දළ වශයෙන් රුපියල් මිලියන 76 ක අනවශ්‍ය අධික පිරිවැයක් දැරීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැති ලබාගෙන ඇති බවත් ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ආයෝජන මණ්ඩලය සුරකීමේ සංගමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය, සමඟි සේවක සංගමය, ජාතික සේවක සංගමය, විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ නිදහස් සේවක සංගමය යන වෘත්තීය සමිති හයේ සභාපතිවරු මෙම ලිපියට අස්සන් තබා තිබේ.

Share with your friends :