ඉදිරියේ දී තමන්ගේ ම නව ගීතයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය පවසන්නීය.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන ZEE Tv සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.
ප්රශ්නය – ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?
“මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මම උන්මාදයට පත්වුණා.”
ප්රශ්නය – ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?
“හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.”
මේ අතර, “මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය දිනාගත් නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය ඊයේ (30) ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.
මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.
ඇය ගායනා කළ නවතම හින්දි ගීතය ද මෙරට ගායිකාවක් ගැයූ , අඩුම කාලයක් තුළ යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයක් පසුකළ ගීතය බවටද පත්ව තිබේ.
මැණිකේ මගේ හිතේ ගීතයෙන් දෙස් විදෙස් රසික ජනතාවගේ ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ප්‍රසංගයට සහභාගීවීම සඳහා පසුගියදා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඇය ගුරුගාවන් සහ හයිද්‍රාබාද් ආදී නගරවල ප්‍රසංග කිහිපයක් පැවැත්වීමට නියමිතය.
පසුගියදා ශ්‍රී ලංකාවෙන් එම සංගීත සංදර්ශන සඳහා පිටව ගිය යොහානි ව පිළිගැනීමට දිල්ලියේ 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටි බව වාර්තා වේ.
සංගීත සංදර්ශනය ට සහභාගිවීමට පෙරම යොහානි ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමිවු බව ද සඳහන්ය.
යොහානිව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන්තොටුපොළ වෙත බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ සිටි බව ද වාර්තා වේ.
මේ වන විට යොහානි ශ්‍රී ලංකාවේ, බොලිවුඩයේ පමණක් නොව යුරෝපයේ ද ප්‍රසිද්ධියට පත්ව තිබේ.
යොහානි ප්‍රථමවරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට පසුගිය දා පිවිසීයේය.
ඒ කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසිනි.
ඇයගේ ගායනය සහිත වීඩියෝව යූටියුබ් ඔස්සේ එළි දක්වා ඇති අතර එම ගීතයේ නිල පසුබිම් ගායකයා ලෙස ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරයි.
යොහානි ද සිල්වා සිය යූටියුබ් චැනලය හරහා එම ගීතය එළිදැක්වූවාය.
එම ගායනය ඇතුළත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක තිරගත කිරීමට නියමිතය.
යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.