මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්විණි.
මෙයට සහභානී වූ විරෝධතාකරුවන් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින්, මුහුණු ආවරණ පැළඳ මෙන්ම ආරක්ෂිත ඇඳුම් කට්ටවලින් ද සැරසී මෙම විරෝධතාවයේ යෙදී සිටිනු දක්නට ලැබිණි. විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටියදී මෙම ස්ථානයට පැමිණි කොටුව පොලීසියේ නිලධාරීන් විරෝධතාව නතර කරන ලෙසට දැනුම්දීමත් සමඟ විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්වයක් ද ඇතිවිය.
එම අවස්ථාවේදී එහි සිටි දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ද පත්විය.
මෙම විරෝධතාවට එක්වූ පිරිස් පැවසුවේ සුරාසැල් විවෘත කළ හැකි නම් කුඩා ව්යාපාරික ස්ථාන හා පදික වෙළඳසැල් ද විවෘත කිරීමට ද අවස්ථාව ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවයි. පිටකොටුවේ අලෙවිසැල් වසාදමා තිබීම හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද ඔවුහු පැවසූහ.