27 C
Colombo
18/01/2025

ලක්ෂ හයක් වැටුප් ලබන මැති සබේ හිටපු ලොක්කා ඇමති කාමරයකුත් අල්ලාගෙනලු

Share with your friends :

පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

මෙම ප්‍රධානියා පසුගිය 10 වැනිදා සිකුරාදා එම ඇමැති කාමරයට ගොස් ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමති කාමර අතීතයේ පටන් වෙන් කෙරෙන්නේ ඇමතිවරුන්ට පමණි.

කාලයකට පෙර නීතිපතිවරයකු පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමැති කාමරයක් දෙන ලෙස ඉල්ලීම් කළ අවස්ථාවේදී මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ වෙනත් උසස් තනතුරක සිටියදී ප්‍රතික්ෂේප කර තිබූ බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග එසේ ප්‍රතික්ෂේප කළ පුද්ගලයා පාර්ලිමේන්තු කමිටුවකට පත්වී පැමිණ ඇමති කාර්යාලයක් මෙසේ ලබා ගැනීම හාස්‍යජනක කාරණයක් බවද ප්‍රකාශ කරයි.

මෙම විශේෂ කමිටුව වෙනුවෙන් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක කාර්යාලයක් පවතින නමුත් සමහරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින ආහාර පාන ඇතුළු පහසුකම් හේතුවෙන් ඒ ස්ථානයට යෑමට අදිමදි කරන බව දැනගන්නට ඇත.

මේ හේතුව නිසා එම කාර්යාලය කාලයක සිට වසා දමා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ උසස් තනතුරක් දරා විශ්‍රාම යෑමෙන් පසු පසුගිය රජය වකවානුවේදී ඉහත කමිටුවේ ඉහළ නිලයකට මෙසේ පත් කෙරුණු අතර මෙම තනතුර වෙනුවෙන් ඔහුට මාසයකට රුපියල් ලක්ෂ හයකට වැඩි දීමනාවක් සහ පහසුකම් ලැබෙන බව දැනගන්නට ඇත

Share with your friends :