27 C
Colombo
18/01/2025

බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්

Share with your friends :

රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම අදහස් පළකළේය.

“බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවෙලා තිබෙනවා. රෝගීන්ගේ මුඛ පිරිසිදු කිරීමට භාවිතකරන විෂබීජනාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලදී ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවලා. පසුගිය දෙසැම්බර් 12 වනදා මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් තීරණයක් ලබාදීලා. මිල අඩුම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා. මේ ටෙන්ඩරය ප්‍රධානය කරන විට මේ සමාගමට අදාළ සමාගම ලංකාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් තවදුරටත් මූල්‍ය ගනුදෙනු නොකළ යුතු බවට තීරණය කළ සමාගමක්. මේ සමාගම බංග්ලාදේශ සමාගමක් මෙම සමාගම මගින් ශ්‍රී ලංකා රජයට රු. මිලියන 127ක අධිභාරයක් අයවිය යුතු සමාගමක්.”

අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන මාධ්‍ය මගින් පළවූ වාර්තා අසත්‍ය බවය.

අදාළ තොරතුරු නිවැරදි කරමින් ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ, අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද ඇණවුමක් සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් තිබූ අයිතමයක් බවය

අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය සහිත අවම මිල ඉදිරිපත්කළ ලංසුකරු වෙත බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරයි.

එමෙන්ම මෙම ටෙන්ඩරය සඳහා සහභාගි වූ ලංසුකරු ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු වන අතර රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ගෙවීම පැහැරහැරීම මත අධ්‍යක්ෂ මණ්ඩල විසින් 2024.10.29 වන දින “ගනු දෙනු පැහැර හරින ලද” සැපයුම්කරුවකු ලෙස තීරණය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ප්‍රසම්පාදන කමිටුව විසින් එම සැපයුම්කරු වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තීරණය කර තිබුණ ද නැවත කරන ලද පසු විපරම් ක්‍රියාවලියේදී මෙම සැපයුම්කරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හරින ලද සැපයුම්කරුවකු බව හඳුනාගෙන එම ටෙන්ඩර් මණ්ඩලය විසින් ම එය අවලංගු කර ඇති බවය.

එසේම මෙම ටෙන්ඩරය නැවතත් ඉදිරිපත්ව තිබු අනෙකුත් ලංසුකරුවන් අතරින් සුදුසු ලංසුකරුවකු තෝරාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන අවසන් කොට තිබූ බව අදාළ නිවේනදයයේ දැක්වේ.

මගින් මෙම ටෙන්ඩරය සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් වන විටත් ඉහත ක්‍රියාවලිය අවසන් කොට තිබූ බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Share with your friends :