27 C
Colombo
18/01/2025

රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ

Share with your friends :

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනාකිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීත්වය යටතේ රජයේ බංගලා නිවාස 50 ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටා ඇත.

හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම සිදු කර තිබේ.

එසේම ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇත.

එහෙත්, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැත.

ඊට අමතරව රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02හි පිහිටා ඇති විසුම්පාය මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලන බලධාරිත්වය යටතේ පවතී.

එසේම අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

එකී රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත්, එම දේපළ ඌන උපයෝජන තත්ත්වයක පවතී.

Share with your friends :