27 C
Colombo
19/10/2024

ශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Share with your friends :

ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එසේම 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළ ව සිදුකරන විමර්ශනවලදී දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ද පිටවී ඇති බවට කරුණු අනාවරණ වන්නේ නම් දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ද යළි විභාගයක් පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් 27 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් 27 දෙනෙකු විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය, එම අමාත්‍යාංශයේ ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් පැතිර ගිය බවත් ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම ප්‍රශ්න තුනට බොහෝදුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු විසින් විභාගයට පෙර ලබාදී ඇති බවට කරුණු අනාවරණය වූ බවයි.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කළ බවත් ඒ අනුව දෙමව්පියන් ඇතුළු පාර්ශ්ව ගණනාවකින් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.

මීට අදාළව දෙමව්පියන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් අනතුරුව මෙම ගැටලුව පිළිබඳ සොයාබැලීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කෙරුනු බවත් පෙත්සම්කරුවෝ පවසති.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් නොපවත්වා පිටවූ ප්‍රශ්න සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට සූදානම් වන බවට ඊයේ (14) දින තමන් මාධ්‍ය හරහා කරුණු දැනගත් බවත් පෙත්සම්කරුවන් කියා සිටියි.

මෙම ක්‍රියාව තුළින් විභාගයට ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවසන් ලකුණුවලට අගතිදායක ලෙස බලපෑමක් එල්ල වන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මෙම සමස්ත ක්‍රියාවලිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාගකොට අවසන් වනතුරු 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ලකුණු සහ කඩඉම් ලකුණු නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එසේම පිට වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් අයැද සිටියි.

ඊට අමතරව මෙම ගැටලුව පිළිබඳව සොයාබැලීම සඳහා පත්කෙරුණු කමිටුවේ සාමාජිකයින්ගේ නාම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

Share with your friends :