27 C
Colombo
19/01/2025

රජයට කෝටි දහසක් පාඩුකරගෙන කැසිනෝ බලපත්‍රයක් දීලා

Share with your friends :

රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිවන ආකාරයෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර දීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා මේ මස 14 වැනිදා කැදවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සීමිත විරෝධතා ගොනු කරන ලෙසද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී

පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මේ පෙත්සම ජනතාවට බලපාන කටයුත්තක් බැවින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි.

මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කෙරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේපාලිකා චන්ද්‍රසේකර, ගෝල්ඩන් අයිඬන් හොස්පිටලිටි සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කෙරුණු පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.පසුගිය ජූලි 5 වැනි දින වසර පහක කාලයකට බලපැවැත්වෙන පරිදි ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි සමාගම යටතේ ඇති මැජිස්ටික් ෆ්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා නමැති ආයතනයට කැසිනෝ ව්‍යාපාර පැවැත්වීම සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේදී පෙත්සම්කරුට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ආයෝජනය කළ යුතු අවම මුදල වන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක් තැන්පත් කිරීමක් කර ඇත.ඊට අමතරව මෙම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති හා රෙගුලාසිවලට පටහැණිවය. ඊට අමතරව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු වන රුපියල් බිලියන 10 ක මුදල ගෙවා නොමැති බව පෙත්සම්කාර හිමියෝ කියා සිටිති.

මෙමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව මෙන්ම රජයේ රෙගුලාසි ද උල්ලංඝනය කර ඇත.මෙම තත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත.මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙස ද, තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද, අදාළ බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර හිමියන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

Share with your friends :