හිටපු ක්රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්රනාන්දුට එරෙහිව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා ඇති අල්ලස් නඩුව විභාග කිරීමට අධිකරණ සේවා කොමිසම නව විනිසුරුවරයකු පත්කර ඇත.
මෙයට පෙර මෙම නඩුවේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස්වීමක් ලැබීම නිසා පුරප්පාඩුවක් ඇති විය.
මහාධිකරණ විනිසුරු ප්රදීප් අබේරත්න මහතා එම පුරප්පාඩුවට පත්කර ඇති අතර, කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ නඩුවේ සභාපති විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා කටයුතු කරයි.
මෙයට අමතරව මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ද විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2015 ජනාධිපතිවරණ සමයේදී ක්රීඩා සංගම් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා කැරම් බෝඩ් 14,00ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් මිලියන 53කට ආසන්න පාඩුවක් සිදු කළ බව පවසා අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
ඒ වන විට සතොස ආයතනයේ සභාපතිවරයා හැටියට කටයුතු කළේ නලින් ප්රනාන්දු මහතා වන අතර ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල්වලින් මෙම උපකරණ ආනයනය කිරීම සිදුකර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර කොමසාරිස් ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. ලබන දෙසැම්බර් 04 වැනි දා යළි නඩුව කැඳවීමට නියමිතය.