27 C
Colombo
04/10/2024

ශ්‍රීලනිප වාමාංශික පිරිසකගේ සහය මාලිමාවට

Share with your friends :

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව පූර්ණ සහාය ලබාදීමට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එහි භාණ්ඩාගාරික බස්නාහිර පළස්සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම කණ්ඩායමට තමා ඇතුළු ආසන සංවිධායකවරුන් 40ක සංඛ්‍යාවක් ඇතුළත් බව කී බෙත්මගේ, මාලිමා රජයේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ ”මිනිසාගේ පරම යුතුකම මිනිස්සාට සේවය කිරීමයි” යන වදනට සහ ප්‍රතිපත්තියට බොහෝ සේ සමානුපාත වන බවද පැවසීය.

කොළඹ තුම්මුල්ල පිහිටි සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දි ඊයේ පෙරවරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙත්මගේ කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායම දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ අතර දයාසිරි ජයසේකර ප්‍රමුඛ පිරිස අනෙක් දක්ෂිණාංශික කණ්ඩායම වන සජිත් පේමදාස ගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ බවය

එම නිසා එම කොටස් දෙකටම ඇතුළත් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වමට ලැදි පිරිස ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු කොන්දේසියකින් තොරව මුළුමනින්ම ජාතික ජනබලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් උදෙසා සම්පුර්ණ සහාය ලබා⁣දෙන බව ඔහු පැවසීය .

මෙම තීරණය ගැනීමේදී දේශපාලන මණ්ඩලය මධ්‍යම කාරක සභාව සහ සියලු ආසන සංවිධායකවරුන්ගේ කැමැත්ත පළවුන බවද හෙතෙම කීය.

මෙම මාධ්‍ය හමුවේ දී පක්ෂයේ උප සභාපති නීතිඥ කීර්ති උඩවත්ත, ජාතික සංවිධායක කේ පී ගුණවර්ධන සහ මොනරාගල ආසන සංවිධායක වසන්ත ජයවර්ධන ද අදහස් දැක්වුහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මහ මැතිවරණයට?

මේ අතර හිටපු අමාත්‍ය, මහින්ද අමරවීර පවසන්නේ, මහමැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි අවධානය යොමු ව ඇති බව ඔහු පැවසිය.

මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සදහා පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේය.

Share with your friends :