27 C
Colombo
04/10/2024

දෙමල පක්ෂ මහා මැතිවරණය ගැන විවිධ තීරණවල

Share with your friends :

තරුණයන්ට පාර්ලිමේන්තු පැමිණිමට ඉඩ සලසමින් මෙවර මහ මැතිවරණය සදහා තරග නොකරන බව උතුරේ ජනතා නියෝජිතයන්
තිදෙනකු නිවේදනය කරද්දී, පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන් වෙන්ව තරග වැදීමට උතුරේ දෙමළ පක්ෂ කිහිපයක්ම තීරණය කර තිබේ.

ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි දෙමළ ජනතා නියෝජනය වෙනුවෙන් දෙමළ පක්ෂ ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරග වැදීමේ උත්සාහයක්ද නිර්මාණය වෙමින් පවති.

නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා 4 සිට සතියක් නාම යෝජනා බාර ගැනීමට නියමිතය.

කෙසේවෙතත්, නව ජනාධිපතිවරයා බලයට පත්වූ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග දකුණේ මෙන්ම උතුරු නැගෙනහිරද විවිධ ඡන්ද හවුල් මෙන්ම තනිව තරග වැදීම සඳහාද පෙළ ගැසීම් සිදුවෙමින් පවතී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය යටතේ වර්තමාන ජනාධිපතිවරයා සමග එකම ආණ්ඩුවක ඇමැති පදවි ලද EPDP නායක ඩග්ලස් දේවානන්දා ඉදිරි ජාතික ජන බලවේග ආණ්ඩුවකට හවුල්වීමේ සුදානම දැනටමත් පල කොට ඇත.

ITAK වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් ඔක්තෝබර් පළමු වැනිදා නිවේදනය කර තිබුනේ නව පාර්ලිමේන්තුවේ තරුණයන්ට ඉඩ දීමේ අරමුණින් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

“පසුගිය ජනාධිපතිවරණයේ දී දේශපාලන වෙනසක අවශ්‍යතාව දකුණේ ජනතාව අතර විශේෂයෙන්ම බහුතර සිංහල ජනතාව අතර දැකගන්නට ලැබුනා. එහි ප්‍රතිපලයක් ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපති උනා. ඒ වගේම දෙමළ ජනතාවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ උතුරු නැගෙනහිර වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි මම මේ තිරණය ගත්තේ.”

ඉලංකෙයි තමිල් අරසු කච්චි වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ද සිය මුහුණු පොතේ සටහනක් යොදමින් තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව නිවේදනය කර තිබුනී.

“නවකයන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මා ඉදිරිපත් නොවන බව සියළුම දෙමළ ජනතාවට දන්වා සිටිනවා.”

දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් ද නිවේදනය කර ඇත්තේ දේශපාලනයෙන් සමු නොගන්නා නමුත් මෙවර මහ මැතිවරණයට තරග නොවදින බවයි.

“දෙමළ ජනතා සන්ධානය පටන් ගත් අරමුණ දෙමළ ජාතිය දිරා පත් වීමෙන් ආරක්ෂා කරගැනීම සහ දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීමටයි. ඒ වැඩ පිළිවෙල දිගටම කරගෙන දේශපාලනයේ මම ඉන්නවා. නමුත් මැතිවරණ දේශපාලනයට මම සහභාගී වෙන්නේ නැ.”

ඡන්ද ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට ඒමට නොහැකිව…

දෙමළ පක්ෂ කීපයක සහාය ලබන උතුරේ ස්වාධීන අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයේ දී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කිරීමට පෙරමුණ ගත් දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ දෙමළ සිවිල් සංවිධාන 87 ක නියෝජනයක් සහිත “දෙමළ ජාතික පොදු රාමුව” ද මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සැප්තැම්බර් 26 වැනිදා යාපනයේදී පැවති රැස්වීම තිරණයකින් තොරව නිමා කර තිබුනේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙනි.

ජනාධිපති අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් තරග වැදුනු “හක්ගෙඩිය” ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග කළ යුතු බවට දෙමළ ජාතික පොදු රාමුවේ පිරිසක් යෝජනා කළත් එම කණ්ඩායමේම තවත් පිරිසක් එම ලාංඡනයට එකගවී වී තිබුනේ නැත.

ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ ජාතික පක්ෂය යන දේශපාලන පක්ෂ පහෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) යෝජනා කර ඇත්තේ ‘කුකුළු පහන’ ලකුණින් තරග වැදීමට බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එම සාකච්ඡාව අවසානයේ දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් නිවේදනය කළේ සිය පක්ෂය මෙවර මැතිවරණයේදී වෙනම තරග කිරීමට තිරණය කළ බවයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඔක්තෝබර් 1 වැනිදා යාපනයේ පිහිටි සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කර තිබුනේ උතුරු, නැගෙනහිර දෙපළාත පුරා සිය පක්ෂය යටතේ මෙවර මහ මැතිවරණයට තරග වදින බවයි.

මෙරට මාධ්‍ය ජාලයක හිමිකරුවකුද වන බ්‍රිතාන්‍යවාසී ප්‍රකට ව්‍යාපාරික අල්ලිරාජා සුබාස්කරන් පසුගිය සතියේදී හිටපු දෙමළ ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම කොළඹදී මුණගැසී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වු බව කොළඹින් පළ කෙරෙන දෙමළ පුවත්පතක් වාර්තා කර තිබුනි.

‘තමිලන්’ මාධ්‍ය වාර්තාවේ දැක්වෙන පරිදි යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන්, ඊ.පී.ආර්.එල්.එෆ් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, තමිල් ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් හා යාපනය හිටපු නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ අල්ලි රාජා සුබාස්කරන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන සන්ධානයේ නායකයා ලෙස ටෙලෝ නායක පාර්ලිමේන්තු සෙල්වම් අඩෛක්කලනාදන් පත් කිරීමටයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් ඔක්තෝබර් 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකද මුණගැසී සාකච්ඡා පවත්වා තිබුනි.

එම සාකච්ඡාව මිත්‍ර ශිලි හමුවක් බව ජනාධිපතිවරයා නිවේදනය කළත් හිටපු මන්ත්‍රී ශ්‍රී ධරන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ සන්නද්ධ ව්‍යාපාරයකින් පැවත එන පසුබිමක් සහිත ජනාධිපතිවරයා ගෙන් ස්වෛරීභාවය ඇතුළු දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවයි.

ආයුධ සන්නද්ධව සිටීමේ පළපුරුද්ද අලුත් ජනාධිපතිවරයා විසින් අනාගතයේ පිහිටුවන ලබන ආණ්ඩුවකට සහාය දීම සඳහා සුදුසුකමක් ලෙස දෙමළ අතුරු සන්නද්ධ කල්ලි නායකයකු වු ඩග්ලස් දේවානන්දා හිටපු ධිවර අමාත්‍යවරයා සැප්තැම්බර් 29 වැනිදා යාපනයේ තෙල්ලිප්පලෙයිහිදී ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

“මැතිවරණයෙන් පසුව, ඒ ජයග්‍රහණයෙන් පසුව බලයේ සිටින අය සමඟ සාකච්ඡා කරන්න, මොකද ඔබ දන්නා පරිදි සන්නද්ධ අරගලය හරහා තමයි අද ජාතික ප්‍රවාහයේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ඇවිත් ආණ්ඩු බලය ගත්තේ. ඒ වගේ ම අපිත් වරක් සන්නද්ධ අරගලයක යෙදුණා. ප්‍රතිපත්තිමය වශයෙන් ගත් කල ඔවුන් සහ අප අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැහැ. ඒ කියන්නේ ඔවුන් වාම සම්ප්‍රදායෙන් එන අය. ඊ.පී.ඩී.පී ද ආවේ වාම සම්ප්‍රදායකින්. එහෙම බැලුවම අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා.”

සැප්තැම්බර් 30 වැනිදා මන්නාරමේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්, යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ සියළු පක්ෂ වලට මෙවර මහ මැතිවරණයේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි යටතේ තරග කිරීමට ආරාධනා කර තිබුනි. එම ආරාධනයට යහපත් ප්‍රතිචාරයක්, ලැබුනත්, නොලැබුනත් මෙවර මහ මැතිවරණයේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි යටතේ තරග වදින බව ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කළේය.

ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරන සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ එම ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ප්ලොට් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් නිවේදනය කර තිබුනේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානය සතුව අතීතයේ පැවති බලය තවමත් පවතින බව පෙන්වීමට දැරු උත්සාහයක් ලෙසිනි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජනයක් නොතිබු දෙමළ ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නල්ලතම්බි ශ්‍රී කාන්තා ද ඉලංකෙයි තමිල් අරසු කච්චි යටතේ තරග කිරීමට සුමන්තිරන් මන්ත්‍රීවරයා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුනි.

උතුරු නැගෙනහිර දෙපළාත ඉලංකෙයි තමිල් අරසු කච්චි යටතේ තරග වදින බව ඉලංගෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඔක්තෝබර් 2 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේය.

ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කළේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි දෙමළ ජනතා නියෝජනය රඳවා ගැනීම සදහා අනිකුත් දෙමළ පක්ෂ සමග සාකච්ඡා පවත්වා එකගතාවයකට පැමිණිමට බලාපොරොත්තු වන බවයි.

ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කයන්හි දෙමළ ජනතා නියෝජනය රදවා ගැනීම සදහා කළ හැකි කැපකිරීම ටෙලෝ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් ඔක්තෝබර් 2 වැනිදා ත්‍රිකුණාමලයේදී පළාත් බද මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ, “දෙමළ ජනතාවගේ අනන්‍යතාව පවත්වා ගෙන යාම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරග කිරීමට සියළු දෙනාම ඉදිරිපත් විය යුතුයි,” යනුවෙනි.

Share with your friends :