27 C
Colombo
30/09/2024

නන්දලාල්ට යන්න බැරිලු – IMF එකෙන් දීමනා ලබන පිරිසක් ගැන තොරතුරු

Share with your friends :

තමාට මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමට අවශ්‍යතාවක් නොමැති බවද මහ බැංකුව ස්වාධීන ආයතනයක් වන අතර එහි මුදල් මණ්ඩලයද ස්වාධීන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා තිබේ.

මහ බැංකු අධිපතිවරයා පසුගිය කාලය පුරාම IMF අවශ්‍යතාවයන්ට අනුව මෙරට ආර්ථිකය පාලනය කල බව නොරහසකි.
එසේම රට බරපතල ආර්ථික අගාධයක තිබෙද්දී රටටම හොරෙන් මහබැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වර්තමාන මහා බැංකු අධිපතිවරයාට චෝදනා එල්ල විය. මහබැංකුව ස්වාධීන ආයතනයක් ද යන්න සම්බන්ධයෙන් රටතුල වාද විවාද බොහෝය. මහබැංකු අධිපති ධුරය රටේ ජනාධිපතිවරයාටත් උඩින් තීරණ ගතහැකි තනතුරක් නම් නව පාර්ලිමේන්තුව නව පනතක් ගෙනවිත් එය වහාම පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවට පත් කල යුතුව තිබේ.

අලුත් මහ බැංකු පනත අනුව එය තහවුරු වී ඇති බවද රජයක් වෙනස් වීමත් සමඟ ඇතැම් මහ බැංකු අධිපතීන් සහ ඇතැම් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ඉවත්ව ගියේ සම්ප්‍රදායක් අනුව නොව පෞද්ගලික තීරණ මත බවද මහබැංකු අධිපතිවරයා පවසා තිබේ.
එසේම ඔහු ජනාධිපතිවරණ සමයේ ප්‍රකාශ කල කරුණු රටටම රහසක් නොවේ.
කෙටි කාලයක් තුළ සිදුකරන ආර්ථිකයේ වෙනස්කම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේදී අනුපාත ආදිය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා සමඟ මේ වන විට කෙටි සාකච්ඡාවක් පවත්වා ඇති බවද එය තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් නොවන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යන ප්‍රතිපත්ති පොලී අනුපාත මත පොලී අනුපාතයකට ගැනීම වඩා සුදුසු බවද නුදුරේදීම එය ක්‍රියාත්මක කරන බවද ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා බැංකු පද්ධතිය සමඟ ඉක්මනින්ම සිදුකරන බවද ,එලෙස ප්‍රතිපත්ති පොලී අනුපාත තනි පොලී අනුපාතයකට ගැනීම මෙම අවුරුදු අවසන් වීමට පෙර සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර උද්ධමනය පහළ මට්ටමක පැවැතීම ඇතුළු වත්මන් ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගෙන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR), නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යන ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.25% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.25% ලෙස නොවෙනස්ව දැනට පවතින මට්ටමේ පවතිනු ඇත.

මේ අතර මාසිකව IMF දීමනා ලබමින් මෙරට ආර්ථිකය හසුරුවන ප්‍රධාන පෙලේ නිලධාරීන් ගණනාවක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබෙමින් පවතී. මොවුන් සියල්ල කලක් IMF හි සේවය කල පිරිස් බව පැවසේ. ඔවුන් ශ්‍රීලංකා රජයේ ප්‍රධාන තනතුරු දරන්නේ නම් ලබැඳියාවන් පිලිබඳ බරපතල ප්‍රශ්න පවතී. එම නිසා ඔවුන් ශ්‍රීලංකාව හෝ IMF යන දෙකෙන් එකක් තෝරාගත යුතුව තිබේ.

Share with your friends :