27 C
Colombo
23/09/2024

’රනිල් අනුර දෙවැනි මනාප බෙදාගෙන’’

Share with your friends :

රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන්ව පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවසීය.

රටේ ජනතාව දේශපාලන ඩීල්වලට රැවටෙන්නේ නැති බැවින් දෙවැනි මනාප අවශ්‍ය නොවන බවත් පළමු වටයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කර රනිල් අනුර මහා කුමන්ත්‍රණය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.

රනිල්, අනුර එක්ක ඩීල් දාන්න පෙර පාස්පෝට් සහ වීසා පොළිම් නැති කරන්නැයි ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 41 වැනි විජයග්‍රාහී ජන රැළිය මහනුවර දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේය.

රටේ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වී ඇති නමුත් ඔහුට පාස්පෝට් හෝ වීසා ගැටලුව විසදන්න බැරි වී ඇති බවත් මේ අයට රටේ ප්‍රශ්න විසදන්න නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ගැනුම්කරුවන්ට සැපයම්කරුවන්ට තාක්ෂණික සේවා සපයන අයට රටට ඒමට වීසා දෙන්න බැරි වී ඇති බව ඒකාබද්ධ ඇගලුම් සංගමය පවසන බවත් සංචාරක ක්ෂේත්‍රය පවා කඩා වැටෙමින් මෙය අප රටට දැඩිව බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනුර සමග හොර ඩීල් නොගහ පාස්පෝට් සහ වීසා දෙන වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ අය රටේ වගකීම බාර ගත්තොත් රටට ඇපත් නැති සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

සමගි ජන බලවේග රජයක් තුළ මේ වීසා හා පාස්පෝට් පෝලිමට තුඩුදුන් හොරකම් ටික ජනතාවට හෙළිදරව් කර වැරදි කළ අය නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වතුප්‍රජාවත් ඉඩමක අයිතියක් ඇති තරුණ ප්‍රජාවත් වෙනුවෙන් වගා නොකළ ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස ඔවුන් සවිබල ගන්වන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සෑම තැනම නිවාස සහ නාගරික ගැටලු ඇති නිසා විධිමත් නගර සංවර්ධනයක් කරා යන බවත් ජලය නොමැති පැතිවලට ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවත වරක් ගෙවල් හදන ගම් උදා යුගය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කලේය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පාලනය කාලයේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ගත් අමනෝඥ තීන්දු නිසා දුප්පත්කම වැඩි වී ඇති බවත් රජය මැදිහත් වී සිමාසහිත කාලයක් තුළ දුප්පත් කම තුරන් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ගැමිදිරිය අස්වැසුම ජනසවිය සමෘද්ධි වැඩසටහන්හි හොද ගුණාංග ගෙන නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් මාස 24ක මාසෙට රු 20000 දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ඉදිරිපත් කළේ දළදා වහන්සේ බවත් බංකොලොත් රට යළි ගොඩනගන ගමන වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව ජනතාව සමග සමාජ ගිවිසුමකට එලැඹුණු බවත් ඔහු සඳහන් කළේය.

රටේ උග්‍ර පොහොසතුන් හැරුණු කොට ලක්ෂ 220 ජනතාව දරාගත නොහැකි දුකක් විදින බවත් මේ දුුකින් ජනතාව මුදවා ගැනීම තමගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ් කිරිඇල්ල මහතා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Share with your friends :