27 C
Colombo
22/09/2024

අනුර උතුරේ ජනතාවගෙන් සමාව ගතයුතුයි – ජනාධිපති

Share with your friends :

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.

ජනාධිපතිවරයා එලෙස පැවසුවේ යාපනයේ පැවති ජන රැළියේ දී ය.

දකුණේ මතයට හවුල් නොවුන හොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට පැමිණ කියා තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, එය යාපනයට මෙන්ම උතුරට ද කළ තර්ජනයක් බව සඳහන් කළේය.

සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණෙන් ද සමාව ගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා අනුරගේ එම එම ප්‍රකාශය තමා දැඩි ලෙස හෙලා දකින බව සඳහන් කළේය.

අනුර මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය නොකරන බව කී ජනාධිපතිවරයා තර්ජන කිරීම් ගැන උතුරේ මෙන්ම දකුණේ ජනතාවගෙන් සමාව ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ වාඩි වෙන්නැයි ඉල්ලා සිටින බවද පැවසී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…

‘‘අපේ සැලැස්ම ඉදිරිපත් කර ඔබේ වටිනා ඡන්දය ඉල්ලන්න අප පැමිණ තිබෙනවා. අනුර දිසානායකත් ඇවිත් ඔබේ ඡන්දය ඉල්ලුවා. එයා මෙහේ ඇවිත් කිව්වේ මොකක්ද? ‘දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටිය දී ඊට එරෙහි වුවහොත් කුමන මනෝභාවයක් දකුණේ ජනතාවට ඇතිවේදැයි සිතන්න’ යැයි අනුර කිව්වා. ‘ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමතිද?’ යැයි අනුර දිසානායක ප්‍රශ්න කළා. එමෙන් ම ‘මා ඔබට නැවත සහතික කරන්නම්, අප ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්වෙන්න ඕන. ඊට එරෙහි වූවන් වන්න එපා,’ යැයි අනුර දිසානායක කිව්වා. ඒ කියන්නේ අනුර දිසානායක ජනතාවට තර්ජනය කරනවා. මට ඡන්දය දුන්නේ නැත්නම් බලාගන්නම් කියනවා. ඒ තර්ජනය මා හෙළා දකිනවා.

අප දෙදහස් දහය ජනාධිපතිවරණයට මෙහේ ආවා. අප එහිදී ෆොන්සේකාට ඡන්දෙ දෙන්න කියා මෙහි ජනතාවට කිව්වා. මෙහේ ජනතාව ෆොන්සේකාට ඡන්දය දුන්නා. දකුණේ අය මහින්දට දුන්නා. මහින්ද දිනුවා. නමුත් ඔවුන් මෙහෙ අයට ගැහුවාද? මුකුත් සිදු වුණේ නැහැ. අන්තිමට ඩග්ලස් දේවානන්දා ඇමතිවරයෙකුත් වුණා .

දෙදහස් පහළවේ සිදුවුණේ මොකක්ද? අපි ඔක්කොම මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න කියා කිව්වා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්ද දුන්නා. ඒ අවස්ථාවේ අප දිනුවා. මුකුත් උණේ නැහැ. දෙදහස් දහනමයෙ දි උණේ මොකක්ද? යාපනයේ අය සජිත්ට දුන්නා. සිංහල මිනිස්සු ගෝඨාභයට දුන්නා. නමුත් ගෝඨාභය හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ. හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලය අප පිළිඅරගෙන තිබෙනවා. ඒ තත්ත්වය යටතේ අනුර දිසානායක ඇවිත් තර්ජනය කරන්නේ කොහොමද?

අනුර දිසානායක ඔබ බය කරන්න හදනවා. උතුරේ මෙන්ම දකුණේ මිනිස්සු බය කරන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණේ ‘‘ස්ටයිල්’’ එක එයයි. ඒ කාලේ චිට් කෑල්ලක් ලබා දී ජනතාව බය කළා.නැවත ඒ යුගයට යන්න උත්සාහ කරනවා. වහාම උතුරේ ජනතාවගෙන්, යාපනයේ ජනතාවගෙන් සමාව ඉල්ලන ලෙස මගේ මිත්‍ර අනුර දිසානායකට මම කියනවා.

මෙහෙම ජනතාවට තර්ජන දාන්න එපා. අප මේ සැරේ බය වෙන්නෙත් නෑ. තර්ජනවලට ඉඩ දෙන්නෙත් නැහැ. සජිත් ගැන කතා කර වැඩක් නැහැ. සජිත් විපක්ෂ නායක ලෙස වැඩේ කළා නම් අනුර නැගලා එන්නේ නැහැ. ඔවුන්ට ඡන්දය දී ඡන්දය නාස්ති කරන්න එපා. අප කළ යුත්තේ මේ රට දියුණු කළ ඉදිරියට යාමයි’’

Share with your friends :