27 C
Colombo
24/09/2024

කෙහෙළිය මානසික වෛද්‍ය මණ්ඩලයකට ?

Share with your friends :

බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සිවුදෙනකු මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි ඉල්ලීම් කිරීමට අපේක්‍ෂා කරන බව ඔවුන්ගේ නීතිඥවරු මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය මහත්මියට ඊයේ (22) දැනුම් දුන්හ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස සැකකරුවන්ගේ මානසික ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීම සඳහා ඉල්ලීම් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දුන්නෝ බාල ඖෂධ සැපයූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් ධර්මසිරි මුදියන්සේලාගේ රත්නකුමාර හේරත් සහ ජාතික ඖඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුය.
සිද්ධියට අදාළව බාල ඖෂධ ගෙන් වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, (සැපයුම්) තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තෝ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී ඇප නියම කර ඇති සැකකරුවන් ඇතුළු සියලු සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතූමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල සහ උප පොලිස් පොලිස් පරීක්‍ෂක ලක්සිරි යන මහත්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර වෛද්‍ය විජිත් ගුණසේකර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් සිද්ධියට අදාළව සෑහෙන කාලයක් පුරා රිමාන්ඩ් බරයේ පසුවන තම සේවාදායකයන් මානසික, දියවැඩියා, විකලංග ඇතුළු සර්වාංග රෝග වලින් පීඩා විඳින බවත් ඒ බව පරීක්ෂා කිරීම සඳහා ඔවුන් මෙම රෝගවලට විශේෂඥතාවක් දක්වන විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීම සඳහා ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැලීමෙන් පසු එම ඉල්ලීම් මෝෂන් පත්‍රයක් මගින් දැනුම් දෙන්නැයි නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමට නියම කළාය. පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්‍ෂ ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙනී සිටියාය.

Share with your friends :