27 C
Colombo
22/09/2024

බාර් පර්මිට්වලට ආත්මය පාවා දුන් අය අපි දන්නවා -සජිත් ප්‍රේමදාස

Share with your friends :

අද වන විට බාර් පර්මිට්වලට වයින් ස්ටෝස්වලට ප්‍රතිපත්ති, ආත්මය පාවා දුන් අය හෙළිදරව් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමග ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගිවිසුමකට එළැඹි අවස්ථාවේ දීය.

අපි කරන්නෙ ප්‍රතිපත්තිමය දේශපාලනයක්

‘‘අපේ රටේ තියෙන්නෙ තමන්ගේ ජීවයත් ජන්මයත් තුට්ටු දෙකට අලෙවි වන දේශපාලන සංස්කෘතියක්. මේ ජරා ජීරණ වූ දේශපාලන සංස්කෘතිය නතර කළ යුතුයි. මන්ත්‍රීවරුන් ගන්න හෝ ළඟ තබා ගන්න සමගි ජන බලවේගය එකදු රුපියලක් හෝ වැය කරලා නැහැ. දැන් ඉන්න ජනාධිපතිවරයා යුඇන්පි නායකයා විදියට ඉන්න කාලෙ පක්ෂ මාරු කිරීමට සූදානම් වෙච්ච මන්ත්‍රීවරුන් දාහතක් සිංගප්පූරුවට යැව්වා. එයා එහෙම කරාට මම එවැනි මුදල් නාස්තියක් සිදු කරෙත් නෑ; මම ඒ මුදල් සක්වල හා හුස්මට වැය කරනවා. මේ පගා දේශපාලන සංස්කෘතිය නතර කළ යුතුයි. අපි වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ මත පදනම් වූ දේශපාලන ගමනක නොගියත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වෙනවා.

උතුරු නැගෙනහිර වෙනුවෙන් ජාත්‍යන්තර සමුළුවක්

යහපාලන ආණ්ඩුවේ මට කැබිනට් ඇමතිකම් ලැබෙද්දි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන ලෙස මම එවක ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට යෝජන කරා. රාජපක්ෂවරු ආගම්වාදය ජාතිවාදය ඇවිස්සුවා මිස මෙවැනි දෙයක් කරේ නෑ. මෙවැනි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් හරහා උතුරු නැගෙනහිර පළාත් දියුණු කරන්න පුළුවන්. ඊට අමතරව ඒ හරහා රටම වුනත් දියුණු කරන්න පුළුවන්.

නමුත් අද වන තුරු එවැනි දෙයක් සිදු නොකරපු නිසා සමගි ජන බලවේග ආණ්ඩුවකින් කෙටි කාලයක් තුළ උතුරු නැගෙනහිර ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න අපි කටයුතු කරනවා. මෙවැනි සමුළුවක් හරහා උතුරු නැගෙනහිර ජනතාව සවිබල ගන්වන්න පුළුවන්. ගෝඨාභය රජයට වගේ ම රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට පවා එවැනි සමුළුවක් කැඳවන්නපුළුවන් වුණේ නෑ.

මැදපෙරදිග සාමය වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා

පලස්තීන ජනතාව දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දීල ඉන්න මොහොතක ඒ ජනතාවගේ අයිතිය වෙනුවෙන්, සාමකාමී අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. පලස්තීන ජනතාවට පහර පිට පහර ගසා ඒ ජනතාව විනාශ කරන ව්‍යාපෘතියක ඊශ්‍රායල් රජය කටයුතු කරවා. අනිත් පාලකයො මේ ගැන කතා කරන්න බය වුණාට මම සෘජුව ඇත්ත කතා කරා.

හිට්ලර් ජර්මනියේ යුදෙව් ජාතිකයන් ඝාතනය කරා වගේ ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාව ඝාතනය කර විනාශ කරනවා. ජීවිත නැති කිරීමේ අයිතියක් කාටවත් නැහැ. මේ රටවල් දෙක සාමකාමීව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත් විය යුතු යි. මැදපෙරදිග සාමය ස්ථාපිත කිරීමට මැදිහත්කරුවකු ලෙස සමගි ජන බලවේග රජය මැදිහත් වෙනවා.

එදා පාලකයො රට පුරා ජාතිවාදය ඇවිළෙව්වා

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රබල අය හිටියත් ඉස්ලාමීය ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය උල්ලංඝනය වෙද්දි, ආදාහනය සහ භුමදානය යන ගැටලුවෙ දී ඒ කවුරු කතා නොකරත් සමගි ජන බලවේගය ඒ දවස්වල මිනිසත්කම වෙනුවෙන් පෙනී සිටියා. වඳ කොත්තු, වඳ පෙති කිය කියා පාලකයෝ රට වටේ ජාතිවාදය ඇවිස්සුවා. දොස්තර ෂාෆි වෙනුවෙන් පවා පෙනී සිටියේ මම ඇතුළු සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් පමණයි. අපි තමයි හොදටම කරන්නේ කිය කිය පාලකයො WHO එකේ තීන්දු පවා නොසලකා හැර කටයුතු කරා. ඉස්ලාම් ප්‍රජාවට පහර පිට පහර දුන්නා.’’

Share with your friends :