27 C
Colombo
24/09/2024

සැත්කමක් අතර ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න හෙදියකගේ හිසට කතුරෙන් ඇනලා

Share with your friends :

දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිත කළ කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිනම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් පනස් දහසක (50,000) මුදලක් ගෙවන ලෙස සිද්ධියට සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට නියෝග කළේය.ඊට අමතරව රුපියල් දස දහසක (10,000) වන්දි මුදලක් හෙදියට ගෙවන ලෙස රජයට නියෝග කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධියට ලක්වූ හෙදිය විසින් ගොනුකරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

වාරියපොල ප්‍රදේශයේ මාධවී බුද්ධිකා රාජගුරු මහත්මිය විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න මහතා ඇතුළු හය දෙනකු නම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, මහතාගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේ සඳහන් වේ. පෙත්සම්කාරිය කුරුණෑගල මහ රෝහලේ ශල්‍ය අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි හෙද නිලධාරිනියකි. 2019 වසරේ මාර්තු මස 12 වැනි දින දියවැඩියා රෝගියකුගේ මාපට ඇඟිල්ල ඉවත්කිරීමේ සැත්කමක් සම්බන්ධයෙන් ඇය වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයේ සිටියාය.එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා කතුරක් පළමු වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා ඇයගෙන් ඉල්ලා සිටියේය.

ඇය එම කතුර ඔහුට දුන් අතර අදාළ කාර්යය සිදු කිරීමෙන් පසු ඔහු එම කතුර ට්‍රොලියේ තැබුවේය. ඒ අවස්ථාවේදී වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා ” මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා” යැයි පැවසීය.

ඒ අවස්ථාවේදී ඔහු එම කතුර ගෙන පෙත්සම්කාරියගේ හිසට දමා ගැසීම හේතුවෙන් ඇයගේ හිසෙන් ලේ ගලන්නට විය.මෙම සිද්ධිය වීමෙන් පසු වෙනත් හෙදියක පැමිණ ඇය එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගියාය. වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා එම ස්ථානයේම සිටි අතර ඉන් අනතුරුව ඇය රෝහල් ගත කෙරුණු අතර දින 2 කට පසුව ඇය රෝහලෙන් මුදාහැරිණි. වග උත්තරකාර වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් උත්තර බඳිමින් කියා සිටියේ මෙය සිතාමතා සිදුකළ දෙයක් නොවන බවයි. එහෙත් මෙම ස්ථානයේ සිටි සේවකයන් දෙදෙනකුගේ දිවුරුම් ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඉතා කෝපාවිෂ්ටව පළමු වගඋත්තරකාර වෛද්‍යවරයා කතුර රැගෙන පෙත්සම්කාරියට පහර දුන් බවය.

ඉදිරිපත් වූ කරුණු අනුව පළමු වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා ඉතා කෝපාවිෂ්ටව පෙත්සම්කාරියට කතුරෙන් පහරදීම සිදු කර ඇති බවට ඉතාම පැහැදිලිය. ඒ හේතුවෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට අධිකරණයේ මතය විය.ඒ අනුව පළමු වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයාට පෞද්ගලික මුදලින් රුපියල් පනස් දහසක (50,000) වන්දි මුදලක් පෙත්සම්කාරියට ගෙවීමට නියෝග කරන බවද තවත් රුපියල් දස දහසක (10,000) මුදලක් ඇයට රජයෙන් ගෙවීමට නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම මුදල් මාස 3 ක් ඇතුළත ගෙවා නිම කළ යුතු බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර ඇත. නීතිඥ වාසනා වික්‍රමසේන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ තීගල් මහත්මිය පෙනී සිටියාය.පළමු වගඋත්තරකාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය පෙනී සිටියාය.

Share with your friends :