27 C
Colombo
25/09/2024

පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති

Share with your friends :

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.

එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන මහත්වරු වෙති.

ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබිණ.

කෙසේ වෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි දැනගන්නට ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඊයේ තීරණය කළ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමා අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලනය කිරීමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.

Share with your friends :