27 C
Colombo
24/09/2024

හනියේ ඝාතනය කළේ කෙටිදුර මිසයිලයකින්

Share with your friends :

හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු නවාතැන් ගෙන සිටි නෙෂාට් ගොඩනැගිල්ලට එල්ල වූ කෙටිදුර මිසයිලකින් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් අද(08) ප්‍රකාශ කළේය.

හනියේ ඝාතනය වූයේ කිලෝ ග්‍රෑම් 7 ක් පුපුරණ ද්‍රව්‍ය සහිත යුද ශීර්ෂයකින් යුත් කෙටිදුර මිසයිලයකින් බවට ඔහුගේ ඝාතනය පිළිබඳ ආරම්භ කළ විමර්ශනයේදී අනාවරණයවූ කරුණුවලින් තහවුරුවී ඇතැයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ප්‍රාහරය ඇමෙරිකාවේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් සිදුකර ඇති බවත් එයට පිළිතුරු නිසි වේලාවට නිසි ආකාරයට ලබා දෙන බවත් එම නිවේදනය නිකුත් කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටියේ හනියේගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට මත දෙකක් ඉදිරිපත් වී ඇති බවත් එම මත දෙක අතර ලොකු වෙනසක් තිබෙන බවත්ය.

කෙසේ නමුත් හනියේ ඝාතනයට ලක්වූයේ ඔහු රැඳී සිටි කාමරයේ ඇටවූ බෝම්බයකින්ද එසේත් නැතිනම් ඔහු රැඳී සිටි ආගන්තුක නිවසට එල්ලවූ කෙටිදුර මිසයිලකින්ද යන්න තවමත් පැහැදිලි නැතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ඔහු සැබැවින්ම මියගියේ මිසයිල ප්‍රහාරයකින් නම් ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය හනියේ සිටි තැන නිශ්චිතව දැන සිට ඇති බවත් එය ඉරානයට බරපතල ආරක්ෂක ගැටළුවක් බවට පෙනෙනු ඇති බවත් ආරක්ෂක විශ්ලේෂකයෝ පැවැසූහ.

මෙම මත දෙකෙන් ඉරානය තහවුරු කරන මතය මත ඉරානයේ ප්‍රතිචාරයද තීරණය වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ නැවතී සිටි නෙෂාට් ආගන්තුක නිවසේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ටෙහෙරාන් නුවර ඔහු නවාතැන්ගත් නෙෂාට් ආගන්තුක නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඉහළ පෙළේ ඉරාන බුද්ධි නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටින බව එම පුවත්පත සඳහන් කළේය.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දැඩිව ආරක්ෂාව සැපයූ නෙෂාට් ගොඩනැගිල්ලට නවාතැන් ගැනීමට පැමිණි අමුත්තකු ඉරාන ජනපති දිවුරුම්දී පැය කීපයක් ගතවීමට මත්තෙන් ඝාතනයට ලක්වීම එරට ආරක්ෂක තත්වය දැඩිව උල්ලංඝනය වීමක් ලෙස ඉරාන රජය සලකන බවත් ඒ හේතුවෙන් ඉරානය මෙම සිදුවීමට දැඩිව ප්‍රතිචාර දක්වන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවැසුවේය.

හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ පසුගිය බදාදා අලුයම 2 ට පමණ නෙෂාට් ගොඩනැගිල්ලේ ඔහු නැවැති සිටි ආගන්තුක නිවසට පැමිණි අවස්ථාවේදී ඝාතනයට ලක්විය.

Share with your friends :