27 C
Colombo
24/09/2024

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා

Share with your friends :

ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා (05) පස්වරු 3.00 විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ.

ඥානිස්සර හිමියන්ගේ දේහයෙ හෙට (3) පෙරවරුවේ 6.00 සිට සඳුදා ආදාහන කටයුතු සිදු කෙරෙන තුරු අවසන් බුහුමන් දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බව විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ පැවසූහ.

අපවත් වන විට 81 වැනි වියේ පසු වූ උන්වහන්සේ වඩාත් ප්‍රචලිත වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමිනි.

උන්වහන්සේ රටට දැයට සමයට සසුනට නොමියෙන අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමක් ද වේ.

සම්ප්‍රදායිකත්වයේ නොගිලි නූතනයට ගැලපෙන සේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ හැඩ කළ උන්වහන්සේ දායකයා පන්සලට නොව පන්සලෙන් දායකයාට යන තේමාව ඔස්සේ මහා සසුන් මෙහෙවරක් ඉටු කළහ.

කොලම්පුර මහා සංස්කෘතික මංගල්‍යය නමින් හැඳින්වෙන කොළඹ ගංගාරාම නවම් මහා පෙරහර විවිධ විචිත්‍ර අංගයන්ගෙන් වර්ණවත් වූ අසිරිමත් සංස්කෘතික මංගලයක් බවට පත් කිරීමට කටයුතු කිරීම පමණක්ම උන්වහන්සේගේ සංවිධාන ශක්තියට කදිම නිදසුනකි.

කොළඹ ගංගාරම විහාරස්ථානය දෙස් විදෙස් සුපතළ ධර්ම නිකේතනයක් බවට පත් කිරීමට උන්වහන්සේ සිය ජීවිත කාලයම කැප කළ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් අමතක නොකරන ආගමික ස්ථානයක් වේනම් ඒ කොළඹ හුණු පිටියේ ගංගාරාම විහාරස්ථානයවේ.

වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නමින් ප්‍රකට එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ස්වාමීන් වහන්සේ නමක් ද වේ.

Share with your friends :