27 C
Colombo
25/09/2024

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ඉරසිංහගේ නඩු ඉලක්කය නැති වැරදි මවන්නද ?

Share with your friends :

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාස හයක් තුළ වෙළෙඳසල් 12,329කට නඩු පවරා ඇති බව එම අධිකාරියේ වැටලීම් අංශ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පවසා තිබේ.
විශ්‍රාමලත් හිටපු පොලිස් අධිකාරිවරයකු වන සංජය ඉරසිංහ මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරියේ සේවය කරන්නේ වැටලීම් අධ්‍යක්ෂවරයා ලෙසටය.
වැටලීම් අංශ නිලධාරීන් මේ වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා මෙම වැටලීම් සිදු කර නඩු පවරා ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

සුපිරි වෙළෙඳසල් 446ක් ඒ අතර තිබෙන බවත් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළෙඳාම, වැඩි මිලට සහල් අලෙවි කිරීම, භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම යන කරුණු මත ඒවාට නඩු පවරා ඇති බවත් මෙලෙස වෙළෙඳසල්වලට නඩු පැවරීම් මගින් රුපියල් දසකෝටි තිස් අට ලක්ෂ පනස් පන් දාහක් (103,855,000/=) දඩ මුදල් වශයෙන් අය කර ඇති බව අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

මෙම වසර අවසානය වන විට 34,000ක වැටලීම් ඉලක්කයක් එනම් ටාගට් සපුරා ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ඉරසිංහ වැඩිදුරටත් පවසා ඇත.
සාමාන්‍යයෙන් පාරිභෝගික අධිකාරිය සැලකෙන්නේ පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරකිමින් රට තුල නීත්‍යානුකූලව භාණ්ඩ හා සේවා සපයන ආයතන නියාමනය කරන ආයතනයක් ලෙසටය. එය පොලීසිය මෙන් දරුණු ගනයේ අපරාධකරුවන් අල්ලා නීතිය හමුවට පමුණුවන ආයතනයක් නොවේ.
සංජය ඉරසිංහ සිය ජීවිත කාලය පුරා පොලීසියේ සේවය කර ඇති නිසා ඇතැම්විට මේ ආකාරයට කෙසේ හෝ වෙළඳසල් වලට නඩු පවරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ සේවකයන්ට ටාගට් ලබාදී ඇති බවක් පෙනේ. මහාමාර්ගවල සිටින ඇතැම් ට්‍රැෆික් පොලිස් නිලධාරීන් වාහන නවත්වා කුමන හෝ වරදක් සොයා දඩ කොළ නියම කරනු අප දැක තිබේ. ඒ ආකාරයට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට වෙළඳසල් වලට ගොස් කෙසේ හෝ වරදක් සොයා නඩු පැවරීම ඔහුගේ බලාපොරොත්තුව දැයි අප දන්නේ නැත. එසේම වසරේ මුල් මාස හය තුල සිදු කර ඇති නඩු පැවරීම් සංඛ්‍යාව 12329 ක් නම් වසරක කාලයක් තුල එමෙන් දෙගුණයක් නඩු පැවරීම් හෝ වැටලීම් කල හැකි වුවද 34000 ක ටාගට් එකක් ලබාදීම යනු වැරදි නිර්මාණය කර නඩු පැවරීම හෝ වෙනත් ක්‍රමවේදයකට කෙලෙස සිදු කරන්නටදැයි පැහැදිලි නැත.

ඇතැම් විට දඩ වලින් ලබා ගන්නා ආදායම වැඩි කරගන්නට මෙලෙස ක්‍රියා කරන්නේ නම් එය මෙරට කුඩා වෙළඳසල් ඇතුළු ව්‍යාපාර අසීරුවෙන් හෝ පවත්වා ගෙන යන්නන්ගේ මුලික අයිතීන් උල්ලංඝනය කිරීමක් වීමට ඇතැම්විට හේතු විය හැක. වෙළඳසල් හිමියන් වැරදි නොකරන්නේ නම් මෙවන් ටාගට් ලබාදී නිලධාරීන්ද වෙළඳසල් හිමියන්ද අපහසුවට පත් කිරීම බරපතල තත්වයකි.
පාරිභෝගික කටයුතු අධිකාරිය වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු යටතේ ඇති ආයතනයකි.

Share with your friends :