27 C
Colombo
24/09/2024

ප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවා

Share with your friends :

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම වාසනාවන්ත අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේම කණ්ඩායමක් නැති කළාදෝ යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (30) පැවසීය.

ධම්මික පෙරේරා මහතාගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති සහ පොදුජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්ති ගැලපුණ හොත් වාසනාවන්තම අපේක්‍ෂකයා ධම්මික පෙරේරා මහතා වියහැකි බව කී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රධාන අපේක්‍ෂකයන් හතර දෙනෙක්, බලකඳවුරු හතරක් අතර සටනක් වන මෙවර ජනාධිපතිවරණයේදී සංඛ්‍යා ලේඛණ අනුව පොහොට්ටුවේ අපේක්‍ෂකයා නියත වශයෙන්ම ජය බව ද සඳහන් කළේය.

කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එසේ පැවසීය.

ව්‍යාපාරික සහ ආර්ථික ඇසක් නම් ධම්මික පෙරේරා මහත්මයා ද, තරුණ සහ ආර්ථික ඇසක් නම් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද, ජ්‍යෙෂ්ඨයෝ හැටියට බලනවා නම් තමවත් කණ්ඩායමක් එම පක්‍ෂය තුළ සිටින බව ද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්තමාන ජනාධිපතිතුමා එම ධූරයට පත්කළ පසු ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් ඇතුළු විවිධ තනතුරු දරපු අය වැඩි සමීපභාවයක් ඇති බවත් ජනාධිපතිවරයා ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටීම නිසා ජයග්‍රහණය කරවිය හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා ඇති බවත් ඒ මහතා කීය.

පොදුජන පෙරමුණ අතහැරලා ඔවුන් වෙන පැත්තකට ගොස් ඇතැයි හෝ පක්‍ෂය ඔවුන්ව නෙරපාහැරියා හෝ නිලවශයෙන් කිසිඳු තීරණයක් නොමැති බවත් පොදුජන පෙරමුණ එක කණ්ඩායමක් හැටියට නවක අපේක්‍ෂකයෙක් සමඟ දේශපාලන ගමන යෑමට තව දුරටත් උත්සහ කරන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ලියාපදිංචි, වැඩිම ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කළ පක්‍ෂයක් වන බව කී ඒ මහතා කිසිඳු කෙනෙක්ට තනි තනියෙන් තීරණ ගත නොහැකි බව ද සඳහන් කළේය.

හැටනව ලක්‍ෂයේ ජනවරම තියෙන්නේ කොහෙද පිළිබඳව තව නොදන්නා නිසා ජනතාවට වගකියන පක්‍ෂයක් හැටියට පුද්ගල චරිතවලට අවශ්‍ය ආකාරයට කටයුතු කළ නොහැකි බවත් අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 70 ක් ගත් පක්‍ෂයක් වීම නිසා ඡන්ද ලක්‍ෂ 30 කින් ආරම්භ කළ හැකි එකම පක්‍ෂය එම පක්‍ෂය බවත් අවසන් මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද විසිහත් ලක්‍ෂයක්, අනුර කමාර දිසානායක මහතා ඡන්ද ලක්‍ෂ හතරක් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්ද ලක්‍ෂයකටත් අඩු නිසා මනාප ගණන් නොකළ බවත් ඒ මහතා කීය.

අපේක්‍ෂකයා පිළිබඳව ගැටලුවක් නොමැති මෙන්ම පක්‍ෂයේ ඡන්ද පදනම පිළිබඳව විශ්වාසයක් තිබෙන බව කී ඒ මහතා පැවසුවේ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 35 ක් 40 ක් ජනාධිපතිවරණය ජය ලැබීමට ප්‍රමාණවත් වනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

Share with your friends :