27 C
Colombo
25/09/2024

පොහොට්ටුවේ තීරණය කුමක් වුවත් ප්‍රමිත-ජනක රනිල් සමග

Share with your friends :

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තත් තමාත් තමාගේ පියා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද සිටින්නේද ජනාධිපතිවරයා සමග බව ඔහු සඳහන් කළේය.

මේ රට ගිනි කන්දක තිබියදී කිසිවෙකු ඉදිරිපත් නොවුණු පසුබිමක කිසිදු පැකිලීමකින් තොරව රට භාරගෙන ආර්ථික අර්බුදය පාලනය කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තමාත් පියාත් තීරණය කළේ කාලයකට පෙර සිට බවද තෙන්නකෝන් මහතා කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ ගත් තීරණය මහපොළොවේ යථාර්ථය තේරුම් නොගෙන ගත් ප්‍රබුද්ධ නොවන තීරණයක් බව ප්‍රකාශ කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ අනුවණ තීරණයේ ප්‍රතිඵල වැඩි කල් නොගොස් රටට දැක ගත හැකි වනු ඇතැයිද සඳහන් කළේය.

ආර්ථික අර්බුදය සමග මේ රටේ ඇතිවූ දුක් ගින්න පාලනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී උපරිම සහයෝගය ලබා දීමට තමාත් තම පියාත් මාතලේ ජනතාව ගෙන් ගෙට ගොස් සංවිධාන කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Share with your friends :