27 C
Colombo
24/09/2024

2024 ජනාධිපතිවරණය : ‘ඔව්, මම සූදානම්’ – ධම්මික පෙරේරා කියයි

Share with your friends :

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ

(පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණු තරුණ සමුළුවට එක්වෙමිනි.

ලබන සඳුදා මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය ස්ථිරදැයි මාධ්‍යවේදීන් යොමුකළ පැනයට පිළිතුරු ලබාදුන් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ නොහැකි නම් තමා වැනි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කුමටද කියයි.

”මගේ මේ වෑයම පොළොව මත මැණික් හදන්නයි”

මේ අතර ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හරහා රුපියල් මිලියන 4000ක් වටිනා අයි.ටී අධ්‍යාපනයක් රත්නපුර දිස්ත්‍රික්කය වෙත පිරිනැමීම සටහන් කරමින් ඔවුන් වෙත අදාළ සහතිකපත් බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙ‍රේරා පැවසුයේ,
”පොල්කඩන මිනිසුන් මේ රටට ඉතිරි කරනවා වෙනුවට පිටරට මිනිහෙක් ඇවිත් මේ රටේ පොල් කඩනවා දකින්න තමා කැමති බවයි.

* ශාසනයට තව 2500 වසරක් ශක්තිය දී බුදු දහම ලොව පුරා බබලවන්න මට අවශ්‍යයි

* අධ්‍යාපනයෙන් සියළු පාක්ෂිකයන් එක තැනකට මා රැගෙන ආවා

* ඔබ වගේ කෙනෙක් තවම ඉන්දියාවේ ඉපැදුනේ නැහැ කියලා කර්නාටක මහ ඇමති කිව්වා

* පැල්පත් ගොඩක් අතර මාලිගාවකට වී සිටින්නට මට අවශ්‍ය නෑ

* රත්නපුරයේ ගංවතුරට දෙන විසඳුමත් කියයි

”හැමෝම එකට එකතු කරලා තිබෙනවා”

“අද මේ සභාවේ පොහොට්ටුවේ අය ඉන්නවා. මාලිමාවේ අය ඉන්නවා. ටෙලි‍ෆෝනයේ අය ඉන්නවා. ඔබට පේනවද ධම්මික පෙරේරා අධ්‍යාපනයෙන් මේ හැමෝම එකට එකතු කරලා තිබෙනවා” යැයි උත්සව සභාව අමතමින් ධම්මික පෙ‍රේරා පවසා සිටියේය.

රත්නපුර මුද්දුව ක්‍රීඩකාංගණයේදී 10,000ක පමණ ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති එම උත්සවයේදී මෙලෙස අදහස් දැක්වූ ධම්මික පෙරේරා, ජනයා දුප්පතුන් ලෙසින් පවත්වාගෙන යමින් රාජ්‍ය කරවීම පහසු යැයි කියූ මකියාවේලීගෙන් දේශපාලන විද්‍යාව උගත් අය තමා විසින් මේ රටේ සිදුකරනු ලබන මෙම අධ්‍යාපන විප්ලවයට අකමැති බවත් පවසා සිටියේය.

“සමහරු මට පුද්ගලිකව කියලා තිබෙනවා මේ විදිහට උගන්වන්න එපා. අපිට පොල් ගෙඩියක් කඩාගන්නවත් කෙනෙක් නැතිවෙයි කියලා. නමුත් මගෙ ආසාව පිට රටකින් ගෙන්වලා මේ රටේ පොල් කඩවාගන්න එක. පොල් කඩන එක විතරක් නෙමෙයි. ගෙදර කුස්සියේ පොල් ගාන කෙනත් පිටරටින් ගෙන්වනවා දකින්න මම කැමතිය. අනෙක් රටවලට පුළුවන් නම් ගෘහ සේවයට අපේ රටේ අයව අරගෙන යන්න, ඇයි අපිට බැරි වෙන්නේ දවසක ඒ වැඩේට පිටරටින් අයව මෙහෙට ගෙන්වන්න. අපිට අධ්‍යාපනයෙන් ඒ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා. මම විශ්වාස කරන ඒ දෙය වෙනුවෙනුයි මම මගෙ පුද්ගලික මුදල් වියදම් කරන්නේ. ඒත් ‘මේ දරුවා මගෙ දරුවෙක්’ය කියලා තමන් හිතුවේ නැතිනම් මේ වගේ සල්ලි වියදම් කරන්න බැහැ. මේ වගේ උගන්වන්නත් බැහැ. මේ සිටින්නේ ඔබේ දුවා දරුවා තමයි. නමුත් ඒ මගේ දරුවන්ය කියලා මට හිතන්න බැරිනම් මේ දේ කවදාවත් කරන්න බැහැ” යැයි ද ඔහු පවසා සිටියේය.

රත්නපුරයේ මෙන්ම මේ රටේ වැසියන් ද මැණික් ඇත්තේ පොළොව යට යැයි සිතා සිටියද ‘ඩීපී එඩියුකේෂන්’ හරහා තමන්ගේ දැක්ම ක්‍රියාත්ම කරමින් මේ පොළොව මතම ඔප දැමූ මැණික් බිහිකරන බව ධම්මික පෙරේරා මෙහිදී අවධාරණය කර සිටියේය.

“ඔබ හිතන්නේ මැණික් තියෙන්නේ පොළාව යට කියලා. නමුත් මම හිතන්නේ නියම වටින මැණික් තියෙන්නේ පොළාව මත කියලා. හැමෝම පොලොව හාරනවා මැණික් හොයන්න. නමුත් පොළාව උඩ තමන්ගේ ගෙදර තියෙන මැ‍ණික මොන තරම් වටිනාවද කියලා දන්නේ නැහැ. ඒ මැණික් කැටය තමයි ඔපදාලා හැඩයට හදන්න ඕනේ. එහෙම හැදුවොත් ඔය පොළොව යට තියෙන මැණික වගේ නෙමෙයි ඒක හැමදාම තියෙනවා. පොළොව යට තියෙන මැණික විකුණුවා එක පාර මුදලක් ලැබුණා. නමුත් තමන්ගේ ගෙදර තියෙන මැණික ඒ වටිනාකම දිගින් දිගටම ඒ වටිනාකම ලබාදෙනවා”

සීයා පතල් කැපුවා නම්, පියා පතල් කැපුවා නම් කවදා හෝ තමන්ගේ දරුවාද පතල් කැපිය යුතුය යන මානසිකත්වයෙන් මිදී ඩීපී දරුවන් දැනුමෙන් පෝෂණය කරමුයි ධම්මික පෙරේරා මහතා මෙහිදී රත්නපුර දිස්ත්‍රික් වැඩිහිටි පරපුරෙන් ඉල්ලීමක්ද කළේය. ඒ‍ වෙනුවෙන් තමා සකසා ඇති, කොළඹටත් රත්නපුරයේ දුෂ්කර පාසලකටත් එකම විදිහේ අධ්‍යාපනයක් පිරිනමන, ආසියාවේ අංක එක ලෙසින් සම්මාන දිනූ ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන වේදිකාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන් ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

“අද මේ රටේ රුපියල් ලක්ෂ 15ක් විදයම් කරලා උපාධියක් ගන්න පුළුවන්. ඒත් ඒ උපාධිය රැකියාවක් නැති, රාමු කරලා බිත්තියේ ගහගන්න විතරක් පුළුවන් සහතිකයක් විතරක් නම් වැඩක් තිබෙනවද? මම රුපියල් ලක්ෂ 25ක අධ්‍යාපනයක් නොමිලේ දෙන්නේ තමන්ට ගමේ ඉඳන්ම දියුණු වෙන්න පුළුවන් විදිහට. අද මේක රැකියා විරහිත උපාධිධාරීන් හදන රටක්. විශ්වවිද්‍යාලයට බඳවාගන්නෙම රැකියා විරහිත උපාධිධාරියෙක් බිහිවන බව දැන දැනමයි. අඩුම ගානේ බැරිද මේ පාඨමාලාව ඇතුළට අපි මේ දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය වගේ රැකියවක් සඳහා හේතුවන විෂයක්වත් ඇතුළත් කරන්න” යැයි ධම්මික පෙරේරා මහතා ප්‍රශ්න කර සිටියේය.

“ ඉන්දියාවෙ බැංගලෝර්වල අයි.ටී අධ්‍යාපන ආයතනයකට යාබදව රත්තන් උකස් ගන්නා කඩයක් තිබෙනවා. දෙමාපියන් කනේ කරේ ඇති දේ උකස් කරලයි දරුවන්ට උගන්වන්නේ. ඒ රටේවත් මේ දේ නොමිලේ දෙන කිසි කෙනෙක් නෑ. ඒ නිසාම වරක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මහ ඇමතිවරයා මට පැවසුවා ඔබ වගේ කෙනෙක් තවම ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියලා. මම රුපියල් ලක්ෂ 25ක අධ්‍යාපනයක් නොමිලේම දෙනවා. දැනුමෙන් පෝෂණය වූ මිනිසා මනසින් ශක්තිමත්. එය මම විශ්වාස කරන දෙයක්. මම විශ්වාස කරන ඒ දේ වෙනුවෙන් මම මගෙ මුදල් යොදවනවා. මේ රට ගොඩගන්න මට තනියෙම කරන්න පුළුවන් දේ මොකක්ද, එය මට රැගෙන යා හැක්කේ මොන මට්ටමටද මම එය එතැනට රැගෙන යනවා” යැයි ද ඔහු කියා සිටියේය.

එපමණක් නොව තමා භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන්ද, සංඝ සංස්ථාවේ අවශ්‍යතා වෙනුවෙන්ද තාක්ෂණය යොදමින් තවත් වසර 2500ක් මේ බුදුදහමේ පැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරන්නේ යැයි ධම්මික පෙරේරා සඳහන් කළේය.

“මම මල්වතු පාර්ශ්වයේ පන්සල් 6200ම ඇතුළත් වන පරිදි එකිනෙක සම්බන්ධ වන විදිහට තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතියක් හදා තිබෙනවා. අනෙක් නිකායන් වෙනුවෙනුත් එවැන්නක් ඉටු කර දෙන්න මම සූදානම්. මම වැනි කෙනෙක් පන්සලට පූජා කරන්න ඕනේ එවැනි දේවල් කියා මම හිතනවා. මම අවශ්‍ය මේ බුදු දහම තවත් වසර 2500ක් රැකෙන විදිහට අවශ්‍ය කටයුතු සකස් කරන්න. භික්ෂු අධ්‍යාපනයේ තිබුණු අඩුපාඩුවලට තාක්ෂණික විසඳුම් ලබාදී , භික්ෂුවගේ භාෂා දැනුමත් ඒ හරහාම ගොඩනගා භික්ෂූන්වහන්සේලා 5000ක් ජාත්‍යන්තරයට යොමුකරන්න පුළුවන් වුනොත් මේ මුළු ලෝකෙම බුදුදහම බබලවන්න පුළුවන්” යැයි ඔහු පවසා සිටි‍යේය.

රත්නපුරයේ මෙතෙත් විසඳුම් රහිත ගැටළුවක් වන ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ධම්මික පෙරේරා මෙහිදී අදහස් දැක්වූහා.

මෙලෙස ගංවතුරට ලක්වන උස් බිමක පිහිටි ලොව එකම නගරය මෙය විය යුතු බවත් කළුග‍‍ඟ හරස්වන තැන් විමසා මෙයට ස්ථිර විසඳුම් ලබාදිය යුතු ආකාරය තමන් මෙයට වසර ගණනාවකට පෙර පුද්ගලිකව කළ අධ්‍යයනයක් මගින් තමා වටහාගෙන ඇති බවත් පැවසූ ධම්මික පෙරේරා, දේශපාලකයන් මෙයට ස්ථිර විසඳුමක් නොදෙන්නේ වසරකට වරක් ගංවතුර ආධාර බෙදීම, ප්‍රදේශවාසීන්ගේ සිත් දිනාගැනීමේ දේශපාලන න්‍යායපත්‍රයක කොටසක් කරගෙන සිටින නිසාදැයි සැකයක් උපදින බවත් පැවසීය.

නමුත් තමා සැමවිටම සැමටම විසඳුම් සොයන කෙනෙක් වන අතර පැල්පත් රැසක් මැද මාලිගයක් තනා වෙසෙන්නට තමාට අවශ්‍ය නැතිබවත්, තම දෘෂ්ඨි පථයෙන් දුප්පත් කම දුරුවන තරමටම තමා සතුටුවන බවත් ධම්මික පෙරේරා වැඩිදුරටත් පැවසුවේය.

Share with your friends :