27 C
Colombo
24/09/2024

පළාත් පාලන අපේක්ෂකයින් අර්බුදයක !

Share with your friends :

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ සන්ධාන ගොඩනැඟෙමින් තිබියදී පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් එම පක්ෂවල බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

2018 පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා, නගරසභා, මහ නගරසභා මන්ත්‍රී ධුර 3436ක්, එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී ධුර 2433ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 1048ක් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 434ක් වශයෙන් දිනාගන්නා ලදී.

මෙසේ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් 2023 වසරේදී කැඳවූ පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුවෙන්, සමගි ජන බලවේගයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ මාලිවෙන් යනාදී වශයෙන් නාමයෝජනා භාරදී ඇත. අදාළ මැතිවරණය කල්දැමීමෙන් අනතුරුව මේ වනතෙක්ම පවත්වා නැතත් නාමයෝජනා අහෝසි කිරීමක් ද සිදුකර නොමැත.

ඒ අනුව, එම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ගැටලුව වී ඇත්තේ තමන්ට නැවතත් තමන්ගේ මැතිවරණයේදී, එනම් පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයේ ලකුණින්ම තරග කිරීමට නියමිතව තිබියදී ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයකදී අලුත් ඡන්ද ලකුණකින් යුත් නව සන්ධානයක් ප්‍රවර්ධනය කිරීමට සිදුව තිබීමයි.

ජනාධිපතිවරණයේදී තමන් අතින් වියදම් කර අනුන්ගේ ඡන්ද ලකුණක් ප්‍රවර්ධනය කරදී නැවතත් පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ ඡන්ද ලකුණ ප්‍රවර්ධන කිරීම සඳහාත් වියදම් කිරීමට අපහසු බවයි ඔවුන් පවසන්නේ.

එහෙයින් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අහෝසි කරන ලෙස ඔවුන්ගේ එක් කොටසක් සිය නායකයින්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා විය.
එසේ නාමයෝජනා අහෝසි කළත් තවත් ගැටලුවක් උද්ගත වන බව පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගෙන් තවත් කොටසක් පෙන්වා දී තිබේ. ඒ, නව සන්ධානයක් සඳහා එකතුවන පක්ෂ ඒකාබද්ධව පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සකස් කරන්නේ නම් දැනට නාමයෝජනා භාරදී ඇති අපේක්ෂකයින්ගෙන් කොටසකට නාමයෝජනා අහිමි වීමේ ප්‍රශ්නයයි. පක්ෂ අතර ඇතිවන එකඟතාව අනුව අපේක්ෂකයින් ප්‍රතිශතය තීරණය කිරීමට වන නිසා එකම ලැයිස්තුවකින් ඉදිරිපත් වන්නේ නම් දැනට නාමයෝජනා භාරදී අයගෙන සැලකිය යුතු කොටසකට නිකම්ම ගෙදර යාමට සිදුවේ.

මේ හේතු මත පළාත් පාලන අපේක්ෂකයින්ගේ අර්බුදය මේ දිනවල පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වන බව ආරංචිමාර්ග සඳහන් කළේය

Share with your friends :