27 C
Colombo
24/09/2024

බංග්ලාදේශයේ ගැටුම් උග්‍ර වෙයි – 105 ක් මරුට – ශ්‍රීලාංකික සිසුන් යලි මෙරටට

Share with your friends :

බංග්ලාදේශය සිසු විරෝධතා අතරතුරදී මියගිය පිරිස 105ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ මරණ ගණන නිශ්චිත නොවන අතර එය ඉහළ අගයක් ගත හැකි බවය.

බහුතර මරණ ගණනක් සිදුවී ඇත්තේ පොලිස් ප්‍රහාරවලින් බව සඳහන් ය.

තවදුරටත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති විරෝධතා හේතුවෙන් රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා ප්‍රමුඛ රජයට එරෙහි සිසුන්ගෙන් එල්ලවන විරෝධය තවදුරටත් තීව්‍ර වෙමින් පවතී.

විරෝධතා තවදුරටත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නේ විරෝධතා පාලනයට එරට සන්නිවේදන සබඳතාව අත්හිටුවා ඇති පසුබිමකය.

කලහකාරී ලෙස හැසිරෙන විරෝධතාකරුවන් එරට නර්සින්ග්ඩි බන්ධනාගාරයට කඩාවැදී ඇති අතර සිරකරුවන් සිය ගණනක් ඉන් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම විරෝධතාකරුවන් බන්ධනාගාරයට ගිනි තබා ඇතැයි ද සඳහන් ය.

සිසු විරෝධතා සඳහා බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ද සහාය පළකර ඇති අතර ඔවුන්ට සහාය වන ලෙස විපක්ෂය රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

විරෝධතා අවසන් කිරීම සඳහා රජය සහ විරෝධතාකරුවන් අතර මෙතෙක් පැවති සියලුම සාකච්ඡා අසාර්ථකවී ඇත.

මේ අතර බංග්ලාදේශය සිසු විරෝධතාවලට සහාය පළ කරමින් ඉන්දියාවේ සිසුන්ද විරෝධතා ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය අසල ආරක්ෂාව තර කර ඇතැයි සඳහන් ය.

එමෙන්ම පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ බංග්ලාදේශයේ සිටි ඉන්දීය සිසුන් 300කට අධික පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බවද සඳහන් ය.

බංග්ලාදේශයේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දියාව පවසයි.

එහි සිටින සියලුම ඉන්දීය ජාතිකයින් ආරක්ෂිතව සිටින බවද ඉන්දියාව පවසයි.

බංග්ලාදේශය තුළ ඉන්දීය සිසුන් 8,500ක් පමණ සිටින අතර ඉන්දියානු ජාතිකයන් 15,000ක් පමණ රට තුළ පදිංචිව සිටින බව ඉන්දිය වාර්තා පෙන්වා දෙයි.

රට තුළ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හා විරෝධතා පාලනය කිරීම සඳහා බංග්ලා දේශය පුරාම ඇදිරි නීතිය පනවා තිබේ.

පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතියද වසා දැමිට රජය කටයුතු කර ඇති අතර අන්තර්ජාල සබඳතා සහ දුරකථන සබන්තා ද අවහිර කර තිබේ.

කලහකාරීන් විසින් රජයේ රූපවාහිනී ආයතන මූලස්ථානයට ගිනි තබා ඇති අතර දැනටවත් රට තුළ සියලුම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශනය කිරීම අත්හිටුවා තිබේ.

විරෝධතාවන් පැවැත්වෙන්නේ එරට නිදහස් සටනේ වීරයන් ලෙස සලකන පවුල්වල දරුවන්ට රජයේ රැකියා වලින් සියයට තිහක කෝටාවක් වෙන් කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ක්‍රියාත්මක කර ඇති විරෝධතා හේතුවෙන් එරට විශ්වවිද්‍යාල වසා දමා තිබුණ ද ජාත්‍යන්තර සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂිතව නේවාසිකාගාරවල රැඳී සිටීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාවට සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර තිබේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට යාමේ හැකියාව පවතින බවද මහකොමසාරිස්වරයා එම සිසුන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඒ අනුව, ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

බංග්ලාදේශය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3,000ක පමණ පිරිසක් ද රැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ගැටලුවක් මතුව නොමැති බව අමාත්‍යංශය සඳහන් කළේය.

විරෝධතා උත්සන්න වීම හේතුවෙන් බංග්ලාදේශය පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාව, නේපාලය, භූතානය ඇතුළු රටවල් එරට රැඳී සිටින සිය සිසුන් ඉවත් කරගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

Share with your friends :

Related posts

බංග්ලාදේශයේ කෝටා ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසඳයි – දේශපාලන අර්බුදය විසඳෙයිද?

බංග්ලාදේශයේ දරුණු ගැටුම් -ඇඳිරිනීතිය සමග හමුදා කැඳවයි

බංග්ලාදේශයේ ගැටුම්වලින් 32 ක් මරුට – රජයේ රූපවාහිනියටත් ගිනි තියලා