27 C
Colombo
24/09/2024

ලොවපුරා පද්ධති බිඳ වැටීම තවමත් එලෙසම – සේවා රැසක් ප්‍රමාදයි

Share with your friends :

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් මේ වනවිට ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. අදාළ පද්ධති නැවත යථා තත්වයට පත් කරන්නට කිසියම් කාලයක් ගතවනු ඇති බව පැවසේ. තාක්ෂණ පද්ධති මත තනිකරම රඳාපවතින ජාත්‍යන්තර සමාගම් බොහොමයක් මෙවැනි හදිසි තත්වයකට මුහුණ දෙන්නේ කෙසේදැයි අවධානය යොමු කර තිබුනේ නැත.

ඒ හේතුවෙන් ගුවන් ගමන්, බැංකු සේවා, රූපවාහිනී නාලිකා විකාශන කටයුතු ඇතුළු සේවා රැසක මෙහෙයුම් අනපේක්ෂිත ලෙස අඩාළ වුණි. එසේම ජාත්‍යන්තර ආපනශාලා රැසක ලොව ප්‍රධාන රටවල් රැසක මෙම තත්වය දක්නට ලැබුණි . ගුවන් ගමන් තුන් දහස් ගණනක් අත්හිටුව ඇති අතර තවත් ගුවන් ගමන් විසිඅටදහසක් ප්‍රමාද වී තිබේ.

මෙම බිඳවැටීමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයට සහ මෙරට පෞද්ගලික ආයතන හතරක මෙහෙයුම් කටයුතුවලටත් එල්ලවුණේ දැඩි බලපෑමකි.

ලෝකය නවීන තාක්ෂණය අතින් වේගවත් සංවර්ධනයක නිරතව සිටින මොහොතක ‍මහා පරිමාණ ගෝලීය තොරතුරු තාක්ෂණික බිඳ වැටීමක් පිළිබඳව වාර්තා වූයේ ශ්‍රීලංකා වේලාවෙන් 19 දා මධ්‍යාහ්න කාලයේ සිටය. මේ මොහොත වන විට යම් යම් ක්‍රමවේද යටතේ එදිනෙදා කටයුතු කරගෙන යන්නට අදාළ ආයතන සමත්වුවද තත්වය සාමාන්‍ය තත්වයට පත් කරගන්නට සමත්වී නැත.

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු ප්‍රධාන යෙදවුම් සේවා රැසක බිඳ වැටීම පළමුව වාර්තා වී තිබුණේ අමෙරිකාවෙනි.

ඒ සමග, “බ්ලූ ස්ක්‍රීන් ඩෙත්” යනුවෙන් දෝෂයක් ලොව පුරා රටවල් රැසක පරිගණක තිර මත දිස්වීමත් සමඟ එය විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට පත්වුණි.

පරිගණක ජාලවල මයික්ක්‍රොසොෆ්ට් යෙදවුම් අනපේක්ෂිත ලෙස ඇනහිටීම “බ්ලූ ස්ක්‍රීන් ඩෙත්” දෝෂය ලෙස දැක්වෙයි.

ඒ අනුව, අසල්වැසි ඉන්දියාව මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ස්පාඤ්ඤය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය, ජපානය, පෝලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමිර්හි ඩුබායි ඇතුළු නගර හා රටවල් රැසකට මෙම තාක්ෂණික බිඳ වැටීමෙන් දැඩි බලපෑම් එල්ල විය.

මෙම මහා පරිමාණ තොරතුරු තාක්ෂණික බිඳ වැටීමෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ බැංකු, ප්‍රවාහන සේවා, රූපවාහිනී නාලිකා, වෙළෙඳ සමාගම්වලට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රවලට ය.

තොරතුරු තාක්ෂණික බිඳ වැටීමේ බලපෑමෙන් ගෝලීයව අවලංගු කෙරුණු ගුවන් ගමන් වාර ගණන දහසක් පමණ වෙයි.

අමෙරිකාවේ ඩෙල්ටා, අමෙරිකන් එයාර්ලයින්ස්, යුනයිටඩ් ඇතුළු ප්‍රධාන ගුවන් සමාගම්වලත් බ්‍රිතාන්‍යයේ ඊසි ජෙට්ස්, රයන් එයාර් ඇතුළු ගුවන් සමාගම්වල මෙහෙයුම් අඩපණ වීමට මෙය ඉවහල් විය.

එමෙන්ම ජපානයේ ජෙට් ස්ටාර්, ජේජු එයාර්, HK එක්ස්ප්‍රස් මෙන්ම ස්ප්‍රින්ග් ජැපෑන් ගුවන් සමාගම් ද ඉන්දියාවේ ඉන්ඩිගෝ, අකාස එයාර් ඇතුළු සමාගම්වලච සේවා කටයුතු මෙහි බලපෑමෙන් බිඳවැටුණි.

ලොව රටවල් රැසකට බලපෑ මහා පරිමාණ තොරතුරු තාක්ෂණික බිඳ වැටීමෙන් එංගලන්තයේ ද දුම්රිය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසකට ද දැඩි බලපෑමක් එල්ලවිය.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් මාධ්‍ය ජාලයත්, BBC නාලිකාවට අනුබද්ධ CBBC මාධ්‍ය ජාලයත්, ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලයත් බිඳ වැටී තිබුණි.

මේ අතර නවසීලන්ත පාර්ලිමේන්තුවෙත් පරිගණක ජාලය අක්‍රීය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසැල් ජාලය, පොලීසිය, රූපවාහිනි නාලිකා මෙන්ම නවසීලන්ත බැංකු කිහිපයක් ද සිය පද්ධති ආශ්‍රිත දෝෂ වාර්තා කළේය.

මේ අතර පැරිස් ඔලිම්පික් උළෙලට සම්බන්ධ තොරතුරු තාක්ෂණික මෙහෙයුම් පද්ධතියටත් බලපෑම් එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මහා පරිමාණ ගෝලීය තොරතුරු තාක්ෂණ බිඳ වැටීමට හේතු වී තිබුණේ, අමෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ සමාගමේ දෝෂයක් ලෙස හඳුනාගැණුනි.

එය ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගම නව පරිගණක ප්‍රතිවෛරසයක් අත්හදා බැලීමේදී සිදුවූ දෝෂයක් බව විදෙස් වාර්තා පැවසීය.

කෙසේ වුවද ඉන් මයික්‍රොසොෆ්ට් සේවා රැසකට බලපෑම් එල්ල වුවත් මැක් සහ ලිනක්ස් යෙදවුම්වලට බලපෑමක් සිදුව තිබුණේ නැත.

Share with your friends :

Related posts

ගුවන්ගමන් 3000 ක් අවලංගු කරලා – 28,000 ක් ප්‍රමාදයි

Channel News Lanka