27 C
Colombo
24/09/2024

ලොව පුරා තාක්ෂණික පද්ධති බිද වැටීම්-ගුවන් ගමන් බැංකු සේවා ප්‍රවාහන සේවා නවතී

Share with your friends :

සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක හටගත් තාක්ෂණික දෝෂයකින් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ප්‍රධාන බැංකු, ගුවන් මෙහෙයුම් හා ගුවන් ගමන්, ප්‍රවාහන, රෝහල්, මාධ්‍ය ආයතන සහ සුපිරි වෙළෙඳසැල් ඇතුළු ආයතන රැසක කටයුතු මෙලෙස ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් නම් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් මීට හේතුවී ඇති බව සදහන්ය.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් පරිගණකවල සයිබර් ආරක්ෂණය සදහා එම මෘදුකාංගය භාවිත කෙරෙන අතර අද එහි යාවත්කාලීන කිරීමක් අතරතුර මෙම දෝෂය හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් විශාලම බලපෑම ඕස්ට්‍රේලියාවට සිදුව ඇති අතර අමෙරිකාවේ ප්‍රධාන ගුවන් සමාගම් සිය ගුවන් මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.

පරිගණක පද්ධතිවල හටගත් දෝෂ හේතුවෙන් යුරෝපා රටවල් රැසක ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර ඉන්දියාවට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

බ්‍රිතාන්‍යයේ දුම්රිය ධාවන කටයුතු සදහා ද මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

Share with your friends :