27 C
Colombo
24/09/2024

ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන කැබිනට් පත්‍රිකාවක්

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර ඇත.

අදාළ කැබිනට් පත්‍රිකාවෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ මෙම ආරක්‍ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමටය.

අමෙරිකාවේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට යෝජනා කර තිබේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) නම් කිරීමට යෝජනා කර තිබේ.

මෙම ආරක්ෂක විධිවිධාන බාධාවකින් තොරව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ කමිටුව සහ නම් කරන ලද පොලිස් නිලධාරියා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සමීපව කටයුතු කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් ය.

Share with your friends :